Saturday, June 8, 2013

ආලිංගනය අවසන්.. යුක්තානුවට ඉඩ දී..!

               


කටුක වූත් කර්කශ වූත් අධ්‍යාපන කටයුතු සමග ජීවිතය කාර්ර්‍‍යබහුලත්වයෙන් පිරී ඉතිරී යද්දි 'Deadline' බොහෝමයක් අවසානයේ ඉඩක් ලද ඇසිල්ලෙම මගේ සිතුවිලි මම අතිශය ප්‍රිය කරන එමෙන්ම මම බොහොම සුන්දරයි කියල විශ්වාස කරන මගේ 'Passion' එක සොයා ගෙන ඇදෙනව... එහෙම කළා ලෝකයේ රස තැන් හොයාගෙන අන්තර්ජාලයේ රස්තියාදු වෙද්දි මට අහන්න ලැබෙනව මම මීට කාලයකට ඉස්සෙල්ල අහපු ගීතයක්...

මගේ තියෙන ලොකුම දුර්වලතාවයක් විදියට මටම දැනුනු දෙයක් තමයි ජීවිතයේ හමුවෙන සුන්දර දේවල් වගේම සුන්දර පුද්ගලයනුත් තුල පවත්නා වූ සොඳුරු බව අඳුන ගන්න මට කාලයක් යනවා... හදිස්සියේ ඒ කාරණාව කියන්න හිතුනෙ මේ ගීතය සම්බන්ධයෙනුත් මට තියෙන අත්දැකීම ඒ වගේ නිසා... මේ ගීතය කල එලි බහින්නෙ  මීට හයමාසෙකට විතර උඩදි ප්‍රසන්න ජයකොඩි මහත්මයානන්ගෙ 'කර්ම' චිත්‍රපටය සිනමා ගත වෙද්දි...

චිත්‍රපටය තුල සම්පූර්ණ වශයෙන් ගීතය ඇතුලත් නොවුනත් ඒ කාලයේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ආශ්‍රිතව මේ ගීතය අහන්න ලැබුනා... හැබැයි හයමාසෙකට පස්සෙ අද මේ ගීතය අහද්දි එදා නොදැනිච්ච රසයක් එදා නොදැනුණු ගැඹුරක් මට ගීතය තුල දකින්න ලැබුනා.. ඒ නිසාම මේ ගීතය ගැන ලියන්න සිත් වුනා...
ගීතයෙ වචන ටික ගත්තොත් මෙන්න මේ වගේ...


අනුනාද වන දෙහදක
ආලිංඟන අවසානයේ
ශූන්‍ය වී...
සිතිවිලී...

ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තියයි
ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී

අම්ල කර වායුව
සිතුම් අනුරාගය
දකිනු රිසී
දොඩමළුව රිසී
පහස රිසී
චුම්භනය රිසී
ආළිංඟනය අවසන්
යුක්තානුවට ඉඩ දී


බොහෝවිට බොහොම සුන්දර වචන යොදල කවීත්වය වෑහුනු යෙදුම් එක්ක නිම වුනු ගේය පද රචනාවන් ප්‍රස්තුථ කරගන්න ගීයකමතක පොතත්, බොහෝවිට එවැනි පද්‍යමාලාවන් සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කරන මතක පොතේ පාඨක ඔබත් මේ පද මාලව දුටු හැටියෙම "මේකත් ගීතයක්ද? " වගේ දරුණු විවේචනයන්ට සිත් පහල කරගත්තොත් එක පැත්තකින් ඒක සාධාරණයි. විශෙෂයෙන්ම ඔබ මේ ගීතය අහල නැත්තම්..! ඒ නිසා ඒ මනස්තාපයට දිගු ආයුෂ නොදී ගීය අහලම ඉන්න..

video


මේ ගීතය සංගීතවත් වෙන්නෙ නදීක ගුරුගේ නම්වූ තරුණ සංගීත කරුවා අතින්. ගී පද මාලාව වෛද්‍යය ජයරුවන් බන්ඩාර අතින් ලියවෙද්දි ගායනයෙන් දායක වෙන්නෙ නදීක ගුරුගේ සහ නතාෂා රත්නායක. ගීතයේ වචනාර්තයට යන්න කලින් මම හිතනව 'කර්ම' චිත්‍රපටයේ කතා සාරංශය බොහොම කෙටියෙන් දැක්වුවොත් හොඳයි කියලා. එත කොට චිත්‍රපටයේ තේමාවට සහ ඒ ඒ සිද්ධීන් වලට ගීතයේ අනුකූලතාවක් තියෙනවද නැද්ද කියල බලාගන්න පුළුවන්..

කතාව ගොඩනැගෙන්නෙ අමැන්ඩා හෙවත් අමා (මිචෙල් හර්ෆ්ට්) කියන යුරෝපීය පන්නයට හැඩගැහුනු තරුණියක් වටා... ඇය ඇයගේ පෙම්වතා වන නදී (නදීක ගුරුගේ) නම් වූ තරුණ සංගීත කරුවා සමග එක්ව වාසය කරනවා... කතාවෙ තුන්වැන්නා වෙන්නෙ පියල් (ජගත් මනුවර්ණ ) නැමැති ආතක් පාතක් නැති තරුණයෙක්...අමා පියයුරු පිළිකාවකින් පෙලෙන්නියක්...  ඒත් සමගම ඇය නදීට දාව ගැබ් ගන්නවා... එක අතකින් අසම්මතයේ පිහිටන දරු ගැබත් අනෙක් අතට උත්සන්න වන පිළිකාවත් නිසා අන්ත අසරණතාවයකට ලක් වෙන අමාව නදී විසින් හැරයාමත් ඒ ඔස්සේ පියල් ඇගේ පිහිටට ඒමත් චිත්‍රපටය මූලික වශයෙන් ගෙන හැර පානු ලබනවා.

ගීතයට මේ කතාවෙ සම්බන්ධය බැලුවොත් මට හිතෙන්නෙ ගීතය විසින් මේ කතාවේ සංසිද්දීන් දෙකක් පහදා දෙනවා. එකක් තමයි දරු ගැබ විනාශ කිරීමට නදී ගෙන එන යෝජනාව අමා විසින් ප්‍රතික්ෂේප කිරීම. අනික තමයි ආදරය සහ දරුවා පිලිසිඳ ගැනීම සම්බන්දයෙන් නදී දරන මතය හෝ කල්පනාව.

ගීතයේ වචනාර්තය දිහාවට හැරුනොත් මෙන්න මේ වගෙ අදහසකුයි ගම්‍ය වෙන්නෙ.
ගීතයේ මුල් කොටස නදීක ගුරුගේ හඬින් කතාවෙ එන නදී ගෙ අදහස් නියෝජනය කරමින් මේ විදියට ගැයෙනව..

අනුනාද වන දෙහදක
ආලිංඟන අවසානයේ
ශූන්‍ය වී...
සිතිවිලී...


අනුනාදය කියන වචනය අපි විද්‍යාවෙදි අඳුන ගන්නෙ කම්පන සංඛ්‍යාතය සමාන වීම කියන අරුතෙන්, එහෙමත් නැත්තන් කම්පන සංඛ්‍යාතය සමාන වීම නිසාම එකම ආකරයට චලනය වන යන අදහස ඇතුව. මේ ගීතයෙ කියවෙන්නෙ 'අනුනාදය වන දෙහදක්' ගැන. එනම් එකම සිතුම් පැතුම් ධාරාවක් සහිත වූ, සමාන අවශ්‍යතාවන් සහිතවූ දෙහදක් හෙවත් ආදරයෙන් බැඳුනු දෙදෙනෙක් ගැන...

එහෙම බැඳුනු දෙදෙනෙක් ගෙ "ආලිංගනය අවසානයේ සිතුවිලි ශූන්‍ය" වන බව ඊට පස්සෙ එන වචන වලින් පැවසෙනවා.. ආලිංඟනය කියන්නෙ වැළඳ ගැනීම.. ගීතයේ ඒ 'ආලිංඟනය' යන වචනය නිරූපනය කරන්නෙ ගැහැණියක් සහ පිරිමියෙක් එක්ව ලබන්නාවූ කායික සම්බෝගය.. එම සම්බෝගය අවසන සිතුවිලි ශූන්‍ය වන බවකුත් කියනවා.. එහෙම සම්බෝගයකට පස්සෙ එකිනෙකා කෙරෙහි වන්නාවූ සිතිවිලි ශූන්‍ය වෙනවා නම් ඔවුන් අතරෙ පැවතියේ සැබෑ ආදරයක්ද කියන එකයි ප්‍රශ්නය. ඒ තර්කය ඔස්සේ බැලුවම ඔව්න් අතරෙ තියෙන්නෙ ආදරයක් නෙමෙයි..  දෙදෙනෙකුගෙ එකඟතාවන් මත තම රාගික හැඟීම් සංතෘප්ත කරගැනීමට ඇති කරගත්තාවූ සම්බන්දයක්.. ඉතින් මේ කියවෙන්නෙ මොකද්ද? මේ කියවෙන්නෙ ලිවින්ටුගෙදර් සංස්කෘතියේ ඇතුලාන්තය.. නදී ගීතය ආරම්භයේදි මෙලෙස කියාපාන්නෙ ඔවුන් අතර වූයේ ආදරයක් නොවන් බවත් හුදු රාගික අවශ්‍යතාවන් මත ඇතිවුනු සම්බන්දයක් පමණක්  බවත්...

ජීවානුවේ ජීවයේ 
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තියයි
ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී


ජීවනුවේ ජීවයත්, රුධිරය සහිතවූ කළල බන්ධයත් ආදරයේ ශේෂයන් ලෙස රචකය දකිනවා. ජීවානුව යන්නෙන් රචකයා අදහස් කරන්නෙ ජීවි අණුව යන්නයි. කළල බන්ධය කියන්නෙ මව සහ කළලය සම්බන්ධ කෙරෙන්නාවූ ප්‍රධාන ශාරීරික බැඳීම. කළලයට අවශ්‍යය වන සියළු පෝෂණ කොටස් මව මගින් ලබා දෙන්නෙ කළල බන්ධය හරහා.. ඉතින් ජීවි අණුවේ ජීවයත් ඊට පෝෂණය සපයන කළල බන්ධය හරහා සිදු කෙරෙන රුධිරමය බැඳීමත් රචකයා දකින්නේ ආදරයේ ශේෂයන් ලෙස...

මව ඒ විදියට තම කළලයට පෝෂණය සපයන්නේ හිරුගෙන් ලැබෙන ශක්තීන් කළලය වෙත සම්ප්‍රේශණය කරමින්.. ඒක එහෙම වෙන්නෙ ජීවයේ පැවත්ම හිරුගේ ශක්තියමත රඳා පවතින බැවින්.. තවත් විදියකට කිව්වොත් එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට ජීවය ලබාදීම එම පරම්පරාව තමන් හිරුගෙන් ලද ශක්තිය නව ජීවයකට සම්ප්‍රේශණය කිරීමක් කියලත් හඳුන්වන්නත් පුලුවන්... 

ඉතින් එලෙස සිදු කෙරෙන ශක්ති සම්ප්‍රේශණය නව ජීවාණුවකට හෙවත් යුක්තාණුවකට ජනිත වීමට අවස්ථාව සපයනවා... "ආදරයේ ශේෂය.. හිරුගෙන් ගෙනා ශක්තියයි.., ජීවාණුවට ඉඩ දී.., ‍යුක්තාණුවට ඉඩ දී.. " කියල රචකයා අදහස් කරන්නෙ ඒකම තමයි. මේ ගීතයේ යුක්තාණුව කියන්නේ ජීව විද්‍යාවෙදි අපි අඳුන ගන්න, සංසේචිත (එක්වුනු ) ඩිම්භය සහ ශුක්‍රානුව හෙවත් කළලයේ මූලික අවස්ථාවම තමයි. ආදරයේ ශේෂයන් ඔස්සේ ගැහැනියක සහ පිරිමියකු අතර හට ගන්න කායික සබඳතාවක් ජීවයට මුල පාදන අයුරු විග්‍රහ කෙරෙන විද්‍යාත්මක පසු බිම රචකයා තම ගේය පද රචනයට කැටිකරගත්තු විදිය කොයිතරම් නම් අපූර්වත්වයක් ජනිත කරනවද..?

මෙහිදී "ජීවාණුවට 'ඉඩ දී', යුක්තාණුවට 'ඉඩ දී' "  යන්න චිත්‍රපට කතාවෙදි කළලය විනාශ කරන්නට නදී ගෙනෙන යෝජනාව අමා විසින් ප්‍රතික්ශේප කිරීම විද්‍යමාන කරනවා වෙන්නත් පුලුවන්.. මොකද ගීයේ මේ කොටස ගැයෙන්නෙ අමා ගෙ සිතුවිලි නියෝජනයක යෙදෙනවා යයි මට සිතෙන නතාෂා රත්නායකයින් අතින් නිසා.

ඒත් එක්කම අපි පිවිසෙන්නෙ ගීතයේ අන්තිම කොටසට. මේ ගීතය අහුවොත් තේරේවි නතාෂා රත්නායකයන්ගෙ ඔපෙරා බරිත හඬින් ගැයෙන ගීයෙ මැදි කොටස  අවසානයේ එක වරම සන්ගීතය රොක් ශෛලියකට මාරුවෙමින් නදී තම අදහස් බොහොම ප්‍රභල වගේම තීව්‍ර අකාරයකට නදීක ගුරුගේ හඬින් මුදාලන අවස්තාවක්ය මේක කියල..

අම්ල කර වායුව
සිතුම් අනුරාගය
දකිනු රිසී
දොඩමළුව රිසී
පහස රිසී
චුම්භනය රිසී
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී


අම්ල කර වායුව සිතුම් ධාරාවක් එක්ක සම්බන්ධ වෙන විදිය නම් මට හිතා ගන්න බැහැ. ඒ කොහොම උනත් රචකයා මෙහිදී අදහස් කරන්නෙ අනුරාගී සිතුවිලි ධාරවක් කියන එක නම් විශ්වාසයි. ඉතින් එවන් වූ සිතුම් අනුරාගයක් මග පාදන්නෙ මොනවටද? රචකයා කියන විදියට රාගය ඔස්සේ දැකීමේ අවශ්‍යතාවත්, කතා බහක අවැසි බවත්, පහස විඳීමේ උවමනාවත්, අවසාන වශයෙන් චුම්බනයේ හෙවත් සිප ගැනීමේ ඕනෑ කමත් ඇති වෙනවා. "සිතුම් අනුරාගය, දකිනු රිසී, දොඩමළුව රිසී, පහස රිසී, චුම්භනය රිසී" කියන යෙදුම වලින් අදහස් වෙන්නෙ ඒකයි. කෙනෙක් කෙරෙහි රාගයෙන් බැඳෙන මිනිස් මනස තුල හටගන්න මූලික අවශ්‍යතාවන් රචකය සටහන් කරන්නෙ ඒ විදියට...

ඉතින් මේ සියල්ල අවසානයේ රාගයේ පෙලහර අවසන් වෙනවා.එහෙම අවසන් වෙන්නෙ යුක්තාණුවකට ඉඩා දීලා.. 'ආලිංගනය අවසන් , යුක්තාණුවට ඉඩ දී' කියන්නෙ ඒකයි.සමස්තයක් වශයෙන් ගත්තම ගීයෙ අවසන් කොටසින් මිනිස් සිතක ඇති වෙන රාගික සිතිවිල්ල කායික පහසක් ඉල්ලා සිටින් අයුරුත්, ඒ ඔස්සේ ඵලයක් ලෙස ජීවයක් බිහි කරන අයුරුත් කතා කෙරෙනවා. මට හිතෙනව මේ අවසන් සිතුවිලි ප්‍රකාශනය තුල යම්කිසි ආකාරයක පශ්චාත් නූතන වාදී දෘශ්ටියක් තියෙනවාය කියල. මොකද ආදරයේ අනිසි පලය දරුවාය කියන එක පශ්චාත් නූතන වාදි අදහසක්. ඒත් ඉතින් දරුවා අනිසි පලය වන්නේ ආදරයේ නොව රාගයේය කියල තර්ක කරන කෙනෙකුට මේ ගීය එම පශ්චාත්නූතනවාදී අදහසට කෙරෙන ප්‍රතිවිරුද්ධයක් කියලත් දකින්න පුලුවන්... තුන්වෙනි කොටසෙ කියවෙන්නෙ "සිතුම් 'අනුරාගයක්' " ගැන නිසා... 


මට ගීතය ගැන කියන්න තියෙන සමස්ත කතාව ඕකයි. මම නම් දකින විදියට කාලෙකට පස්සෙ ඇහුන හොඳට හිතන්න යමක් දෙන, ශ්‍රාවක බුද්ධියට අභියෝග කරන පදමාලාවකින් සමන්විතයි මේ ගීතය. සාමාන්‍යයෙන් පදමාලවක් තුල දකින්න නොලැබෙන ජීවාණුව, කළල බන්ධය, රුධිරය, යුක්තාණුව, ශේෂය, ශූන්‍යය සහ අනුනාදය වගේ විද්‍යාත්මක වචන මාලාවකින් සමන්විත වීමත් මේ පදමාලවේ දක්නට ලැබෙන විශෙෂත්වයක්. සමහර විට රචකයා වෛද්‍ය වෘත්තිකයෙක් වීමත් ජීවාණුව, කළල බන්ධය, රුධිරය, යුක්තාණුව වගෙ වචන ඇතුලත් වෙන්න හේතුවක් වෙන්න ඇති.


ගීතයේ ගුණ වරුණ ඇගයීම එලෙස අවසන් වෙද්දි ලිපියෙ අවසානයට පෙර ගීතයේ දෘශ්‍ය සිත්තම ගැනත් සමස්ත චිත්‍රපටය ගැනත් සටහනක් නොතියාම බැහැ. දෘශ්‍ය සිත්තම ගැන කිව්වොත් ගීතයේ අර්ථයන්ට ඔබින විදියක භාව ප්‍රකාශනයක් රංගනයෙන් දිස් වෙනවා... චායාරූපකරණය විශිෂ්ටයි. විශේෂයෙන්ම කලු-සුදු චායාරූපකරණ(black and white photography) භාවිතාව රසික මනස ව්‍යාකූලත්වයකට හසු නොකරම අවශ්‍යවූ වස්තූන් කෙරෙහි සිත් සතන් ඇඳ බැඳ ගැනීම ලා කරන දායකත්වය අපූරුයි. ප්‍රසන්නගේ සිනමා භාවිතාවන් විග්‍රහ කරන්නට තරම් ක්ශේත්‍රීය දැනුමක් මට නැතත් බොහෝ අය කියන විදියටම ඒ සිනමා භාවිතාව භාවනාමය එහෙමත් නැත්තම් මෙඩිටේටිව් සිනමාවක්. ඒ තුලින් රසික මනස යම්කිසි විදියක ගැඹුරු ජීවන අත්දැකීම් විග්‍රහයකට කොටු කරගන්නවාය කියන එකයි අදහස. ඒ වගේම කිව යුතුයි මේ චිත්‍රපටය 'වැඩිහිටියන් ට පමණයි' ලේබලය යටතෙ තිරගත වූවක්. ඒ ගොඩක්ම මේ කතා තේමාව වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් නිසා. ඒ ඇරෙන්න වෙනත් අනවශ්‍යය ලිංඟිකත්වයක් මේතුල උළුප්පා දැක්වීමක් මම දකින්නෙ නැහැ. චිත්‍රපටයෙ ප්‍රචාරක වීඩියෝවෙ සඳහන් වන්නෙත්  "දැන උගත් වැඩිහිටියන් උදෙසා බලා රස විඳීමට" කියලයි... ඇත්තටම ඉතින් කෘතිය තේරුම් ගැනීමට ඕන මූලික අවශ්‍යතාවක් විදියට නරඹන්නගේ වැඩිහිටි මනස බලාපොරොත්තු වෙනවත් ඇති ප්‍රසන්න සමහර විට... අවසන් වශයෙන් කියන්න ඕන මේ කෘතීන් තුනම ( ගීතය, චිත්‍රපටය සහ දෘශ්‍ය සිත්තම ) බෙහෙවින් වින්දනීයයි, ගැඹුරුයි ඒ වගේම අභියෝගාතමකයි...!

Saturday, March 30, 2013

ඔබේ දෑස දැකගත්තෙමි... වැරදිකාර ළඳුනේ...!



ජීවිතේ සමහර අවස්ථා වලදි අපි කොච්චර ආසාවකින් කැමැත්තකින් භක්තියකින් පේවිලා කරන කටයුත්තක් වුනත් අතපහු වෙනවා අද අපි මූණ දෙන කාර්ර්‍‍යබහුලත්වය හමුවේ. එහෙම වුන අවස්තාවක ආයෙත් සොඳුරු කර්තව්‍ය පටන් ගන්න අවස්තාවක් පෑදෙන කම් බලාගෙන ඉන්නෙත් පුදුමාකාර නොඉවසිලිවන්ත කමකින්, අසහනයකින්. පහුගිය දොහේ අපේ ගීයක මතකපොතටත් උදාවෙල තිබ්බේ වගෙ බොහොම කර්කශ ඉඩෝරයක්. ඉතින් ඉඩක් ලද ඇසිල්ලෙම කඨෝර නිහඬතාවය ඉවරයක් කරල ගීයක මතකය අවදිකරන්න හිතුවා..:)

මීට අවුරුදු ගණනාවකට කලින් ආචාර් ප්‍රේමසිරි කේමදාසයන් ගුවන් විදුලි සංස්ථාවේ ශබ්දාගාරයට වෙලා තමන්ගේ වාද්‍ය කණ්ඩායම එක්ක බලාගෙන ඉන්නවා එක්තරා නම ගිය ගායකයෙක් එනකම්. දැන් ගායකයා එනව කියල පොරොන්දු වුනු වෙලාවත් පහුවෙලා. ඒත් ගායකයා නම් එන පාටක් නැහැ. කොහොමහරි අන්තිමට පනිවිඩයක් එනවා අදාල ගායකයට එන්න වෙන්නෙ නැහැ කියලා. ප්‍රේමසිරි කේමදාසයන් කොහොමටවත් කැමති වෙන්න නැහැ පටිගත කිරීම කල් දාන්න. මේ වෙලාවෙ හරි අපූරු සිද්දියක් වෙනවා.
කේමදාසයන් තමන්ගේ වාද්‍ය වෘන්දයේ ඉන්න විශිෂ්ඨතම වයලින් වාදකයා - අමරසිරි පීරිස් අමතලා "අමරේ පොඩ්ඩක් මේක කියන්න බලන්න" කියල ඉල්ලීමක් කරනවා. ගායකයා ආධුනිකයි. ස්වර කණ්ඩ ගායනයේ සහ හඬ පාලනයේ මනා දැනුම් ලත්තෙක් වුනත් පීරිස් මීට කලින් මේ වගේ සජීවි ගායනයන්ට සහ පටිගතකිරීම් වලට ගායනයෙන් දායක වෙලා නැහැ. හින්දම මුලදි අදිමදි කලත් කේමදාස මාස්ටර් ගේ පෙරැත්ත නිසාම අමරසිරි පීරිස් නැමැති වයලින් වාදකයා හොඳ හුස්මක් ඉහලට අරගෙන ගැඹුරු ශාන්ත කටහඬින් ගායනය අරඹනවා... "ළඳුනේ... ළඳුනේ..."

ඉතින් අර මුලින් කියපු ගායකයගේ අතපසු වීම කෙළවර වෙන්න සිංහල ගීත කෙතට තවත් අග්‍රගණ්‍යය හඬ පෞර්ෂ්‍යයක් හඳුන්වා දෙමින්. බැරි වෙලාවත් ඔහු එදා ආවනම් තවමත් අමරසිරි හඬ අපි නොඅසපු හඬක් වෙන්නත් ඉඩ තිබුනා. කොහොම උනත් හැරෙමු අපි ගීතය දිහාවට... මේ ගීතය හරි ප්‍රසිද්ධයි ගණිකාව ගැන කියන සින්දුව කියලා. ලෝකයේ පැරණිතම වෘත්තිය විදියට සැලකෙන ගණිකා වෘත්තිය ( දඹදිව අම්බපාලි, ජනපද කළ්‍යාණි ලගෙ ඉඳලා පැවතෙන්නක්ය කියනවනෙ ) ගැන ගැයෙන ගීයක් විදියට මේකේ විශේෂත්වයක් තියෙනවා තමයි. හැබැයි ඒකම පමණක් නෙමෙයි. මොකද ගණිකාවන් , අභිසරුලියන් ගැන ලියැවුනු ගීත තව බොහෝමයක් තියෙනවා.  ඔක්කොම අතරිනුත් මේක හරිම විප්ලවීය ගීතයක් කියලයි මට හිතෙන්නෙ. මොකද කියනව නම් ලෝකයේ පළවෙනි වතාවට ගණිකාව දිහා මානව දයාවෙන් ඇළලී ගිය දෘශ්ඨි කෝණයකින් බලා ලියැවුනු ගීය මෙයම වෙන්න ඇති.

ළඳුනේ // 
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.. 
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ..... 

නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ.. 

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි 
ඔබද කිසා ගෝතමියකි...

පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ

ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...


එදත් අදත් ගණිකාව ගැන සමාජය තුල තියෙන මතය එච්චර යහපත් එකක් නෙමෙයි. සරලවම කිව්වොත් එක පැත්තකින් මාතෘත්වය වෙනි උතුම් පදවියක් ලැබීමට තරම් සුදුසු වූ ගැහැනියම සමාජීය ධුරාවලියේ තවත් අන්තයකදී වෛශ්‍යාවක බවට පත් වෙනවා කියන කාරණාව අපි හැමෝගෙම ළය මඬල බර හුස්මකින් පුරවාලීමට සමත් තරම් සන්වේදී කාරණාවක් වෙනවා.

කොහොම උනත් ගණිකාව හොඳද නරකද කියලා තීරණය කිරීම පාඨක ඔබට ඉතුරු කරලා මම හැරෙන්නම් ගීයෙ පසුබිම් කතාව දිහාවට. වකවානුව 80 දශකය විය යුතුයි. මේ ගීතයේ රචකයා නීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්.

ආරන්චි විදියට මේ සිද්ධිය වුනයි කියන්නෙ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගෙ මිතුරෙකුට. ( නම් ගම් මනංකල්පිත නොවෙන හින්දම සියලු දෙනාගේ ගරුත්වය සහ ආරක්ෂාව පිණිස අපි එහෙම යොදමු ).  මේ මිත්‍රයා කාලෙ පදින්චි වෙලා ඉන්නෙ මහනුවර බෝඩිමක. බෝඩිම්පලේ තවත් යාලුවො කට්ටියක් එක්ක තමයි මෙයා ඉන්නෙ. බෝඩිම් සඟයන්ට තිබුනා හරි නරක පුරුද්දක්. තමයි පඩි දවසට පස්සෙ දවසෙ ගණිකාවක් බෝඩිමට එක්කගෙන එන එක. මේ යාලුවට ඒක හරිම නුහුරුයි. ඔහු එක හෙලාම සමාගමය ප්‍රතික්ෂේප කලත් ගණිකාවගේ මූණ හොඳට බලාගන්නව. රුපියල් සත වලට පිරිමි දහ දොලොස් දෙනෙක් එක්ක අහිංසක යුවතියකගෙ රීරි මාංශෙ ඔට්ටු වෙද්දි රාත්‍රියත් එහෙම්ම ගෙවිල ගිහින් පහුවදාට එළි වෙනවා. කරපු පවුකම් රාත්‍රියට. පහුවෙනිද පුර පසලොස්වක පෝය දවසක්. හෝදල ගෙට ගත්තම කොල්ලන්ගෙ බලුකම් කොහෙන් හොයන්නද කිව්වත් වගේ පහුවෙනිද හවස් ජාමෙ යාලුවො ටික ඔක්කොම යනව පන්සල්. දළදා මාළිගාවට..!!! 

ඔන්න එතකොට අපේ කතා නායකයා දකිනව හුරු පුරුදු මූණක්. ඔහුට හිතා ගන්නත් බැහැ. තෙල් මල් අතින් අරගෙන මුණිඳු පුදන්න යන්නෙ ඊයෙ තමන්ගෙ යලුවොත් එක්ක හරි හරියට ඔට්ටු වෙච්ච අභිසරු ලියම තමයි. කතා නායකයා එතන ඉන්න තමන්ගෙ යාලුවොන්ට ඇයව පෙන්නල යෝජනා කරනවා ඇයට කතා කරන්න. ඒත් රාත්‍රී කාලයේ ඇය හා හරි හරියට රති කෙලියේ යෙදුනන් එලිමහනේ ඈ හා දොඩමලු වීම ප්‍රතික්ෂේප කරන්නේ, එය ඔවුන්ට ඉමහත් මදි පුංචිකමක් ලෙස සලකමින්. මේ වෙලාවෙ අපේ කතා නායිකාව ඔවුන්ව දකිනවා.. ඇඳින ගන්නවා.. එත් ඔවුන් හා කතා කරන්න හෝ එතැන වැඩි වෙලා රැඳෙන්න ඇයටත් ශක්තියක් නැහැ.. සියුම් සිනාවක් ඔවුන් වෙත හෙලන ඇය උවමනාවෙන්ම ඔවුන්ව මගහැර යනවා.. මේ සිද්ධිය සෙනෙවිරත්නයන්ගෙ මිත්‍රයාගෙ හදවතේ ප්‍රබල කම්පනයක් ඇති කරනවා. විටෙක ශරීර මාංසයට ලොල් වී ඇයව හප කරන මේ සමාජයම විටෙක කුනු වූ මස් වැදැල්ලක් සේ පිළිකුලින් යුතුව ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේ සමාජ යථාර්තයන් වගේම සමාජ කුහකත්වය ඉස්මතු කරමින් මේ ගීතය නිම වෙල තියෙනෙවා.

ආරම්භය සිද්දවෙන්නෙ මානව දයාවෙන් පිරී ගියහඬකින් සහ කරුණාව කැටි කරගත්ත වදනින්. මම එහෙම කියන්නෙ ගණිකාව සඳහා සාමාන්‍ය භාශිතයේ පවතින කටුක කඨෝර වදන් වලින් මිදිලා ළඳුනේ නම් වූ සොඳුරු ආමන්ත්‍රණයකින් ගීයේ ආරාම්භය සිද්ද වෙන නිසාවෙන්.
‘ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ..’ කියන වදනින් රචකය අදහස් කලේ හවස කාලයේ විහාරස්ථාන භූමියේදි අනපේක්ෂිත අයුරින් නෙතගැටෙන ඇගේ රුව. ඒක එක්තරා විදියක පුදුමයක් රචකයා තුල ඇති කරවනවා. මොකද ගණිකාව සහ බුදුන් පුදන උපාසිකාව කියන්නෙ සන්සාර ගමනේ එකිනෙකට ඉඳුරාම වෙනස් වූ අන්ත දෙකක පසුවන්නියන්. ඒත් රචකයාට වරදින්නෙ නැහැ. ඔහුටු පුරුදු, ඔහුගේ මතකයේ රැඳුන නෙත් යුගලයම තමයි ඒ. එතනින් එහාට ඇය අභිසරු ලියම බැව් තවුරු කරගන්න රචකයා ඉතාම සංවේදී විදියට ඇය මූණ පාන ජීවන ඛේදවාචකය ගෙනහැර පානවා. දහසක් පිරිමි ඇගෙ අතගන්නවා. ඇගේ රස පහස සොයා එනවා. එනමුත් ඇය අස්වාමිකයි. සැමියෙක් නැති, ආදරයක් නැති, සෙනෙහසක් නොදකින ලෝකයක් තුල ඇය හුදු පිරිමි උදෙසා කැප වුනු කෙළි භාන්ඩයක් වෙනවා. 'දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ළඳුනේ ' යන්නෙන් අදහස් වෙන්නෙ එයයි. 

නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ 

මේ යෙදුමත් ඉතාම තීව්‍ර විදියට ඇය සමාජය තුළ කොන් කෙරෙන අයුරු පෙන්වනවා. අභිසරුලියකට ප්‍රසිද්ධියේ නෑකම් කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඇය තරමට පහත් නින්දිත චරිතයක් විදියට සමාජය තුල හංවඩු ගැහීමකට ලක් වෙලා තියෙන්නෙ. ඉතින් එවන් වූ සමාජයක් තුලින් වෙත නිරන්තරයෙන් එල්ල වෙන්නෙ ගැරහුම් පමණයි. මේ ගැරහුම් ඉදිරියේ වීදි සරන ළඳුන් අන්ත අසරණයි.

කෙනෙක් ජීවිතයේ අන්ත අසරණ වුනාම තමන්ගෙ ආගම දහම වෙත සිත යොමුවීම නිරායාසයෙන්ම සිද්ද වෙන්නක්. ඒක බුද්ධ කාලීනවත් එහෙම වුනා. බුදුන්ගෙ පිහිට පතාගෙන ඇවිදින් මොක් සුවය විඳින්න වාසනාව පාදාගත්තු බොහෝ පිරිස් ඒ විදියට අනේකවිද පීඩාවන්ට ලක් වෙච්ච අය. මේ යුවතියත් තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පිය මනින්නෙ ඒසා අසරණ බවක් හිතට දැනෙන නිසාම වෙන්න ඇති. මම හිතන්නෙ තමන් කරන කියන දේ ගැන එතරම් තැකීමක් නොකර ස්වකීය රූපශ්‍රීයට දනුන් ලොල් වන අයුරු දැක ප්‍රීති වෙමින් සිරුර විකුනන ගණිකාවකට වඩා මෙම ගීය හරහා ආමන්ත්‍රණයට ලක්වෙන ළඳුන් වෙනස් වෙන්නෙ ඔන්න ඔය ඔවුන්ගේ හිතට දැනෙනවාය කියන වරදකාරී හැඟීම සහ අසරණ බවත් එක්ක. 

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි

අපි පටාචාරවට , කිසාගෝතමියට බනින්නෙ නැහැ. මොකද බෞද්ධ සාහිත්‍යයේ එන මේ චරිත කලකදී අන්ත අසරණතාවන්ට පත් වුනත් පස්සෙ කලෙක බුදුන් දැක නිවන් ලබපු නිසා. ඒ නිසාම ඒ චරිතවලට බෞද්ධයො යම් ගරුත්වයක් ලබ දෙනවා. ඉතින් මේ ළඳුන්ටත් එවන් වූ ගරුත්වයක් හිමිවිය යුතුයි කියන තැනට තමයි රචකයා තම සිතුවිළි මෙහෙයවන්නෙ. එනම් බුදුන් සමයෙත් මේසා අසරණබාවයන්ට, පීඩාවන්ට, අසාධාරණයන්ට ලක් වූ පිරිස හිටියා. එකළ ඔවුන්ට බුදුන් පිහිට වුනා. ඒත් අද ඔවුන්ට එවන් පිළිසරණක් නැති සඳ ඔවුන් මුනි කුටියට ඇදෙනවා. 

පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ

ගණිකාවක් ගණිකාවක් වෙන්නෙ පිරිමි (එනම් ඇගේ ගනුදෙනු කරුවන් වන පිරිමි පුද්ගලයන්) ඈ වෙත එන නිසා. එත කොට ඈව ගණිකාවක් කරන්නෙ ඔවුන් විසින්. සර්‍ව සාධාරණ සමාජයක නම් ඇයට මේ වෘත්තීය කරන්න බැහැ. ඇත්ත ඇය වැරදිකාර යුවතියක්. හැබැයි ඇය විතරමද වැරදි කියල අහන ප්‍රශනයයි වැදගත්.  මෙතනදි වෙන අසාධාරණය තමයි ඈව දෙපැත්තකින්ම පෙලීමකට ලක් වෙනෙවා. පලමු වශයෙන් ගණිකා වෘත්තීයේ නියැලීමට තරම් ඇය අසංවර අශිෂ්ට චරිතයක් වීම නිසා ඈ වෙත එල්ල වන පීඩාදිය. දෙවැන්න තමයි ඈගේ පහස සොයා එන පිරිමින් තුල රැඳි අසීමිත රති කාමය. එනම් ඔවුන් සතු පාප කඳ. ඒත් මේ කාරණා දෙකෙදීම දෝෂා විඳින්නේ ඇයම පමණයි. 

අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ

වර්තමාන සමාජය වෙත , එහි පවතින හිස්, බොරු, බොල් ආටෝපයන් සහ කුහකත්වය වෙත ප්‍රභල ප්‍රහාරයක් රචකයා විසින් දියත් කරන්නෙ මේ පද පේලියෙන්. ගණිකාවන්ට  කවදාවත් සමාජයේ ගරු බුහුමන්
හම්බ උනේ නැහැ.ඔවුන් නිතැතින්ම සමාජයේ ගැරහුමටත් පිළිකුලටත් ලක් වුනා. හැබැයි එතනදි එකඟ වෙන්න බැරි කාරණාව වෙන්නෙ විදියට ඇයට ගරහන, ඇයව පිළිකුල් කරන සමාජයම ඇයව පාවිච්චි කිරීම. ඈ වෙත එළිපිට රැවුම් ගෙරවුම් කරන, ඈව අපහසුතාවන්ට පත් කරන බොහෝ දනන් රෑ ඇඳුරේ ඈ හා එක්ව රහසින් පව් කරනවා. රාත්‍රියට ඈ හා තනිවෙද්දි ඈ දිව‍යංඟනාවක් වෙනෙවා. නමුත් සමාජය ඉදිරියේ ඔහුට ඇය වෛශ්‍යාවක් වෙනවා. 

ඒ කතාවත් එක්ක මගෙ මතකයට නැගෙන්නෙ දීප මෙහෙතා ගෙ  අධ්‍යක්ෂණයෙන් 2005 දී තිරගතවුනු 'Water' චිත්‍රපටය. එහි ගාන්ධි අනුගාමිකයෙක් වන නාරයන් ( ජෝන් ඒබ්‍රහිම් ), ආශ්‍රාමය මගින් බලෙන් ගණිකා වෘත්තීයට යොමු කරනලද කළ්‍යාණියන්ට ( ලීසා රේ ) පෙම් කලත් ඉහළ පැළන්තියේ බ්‍රාහමණිකයකු වන නාරයන්ගෙ පියා ඊට තදින්ම විරුද්ධ වෙනෙවා. ඔහු එක හෙලාම පවසා සිටින්නේ තම පුතු කළ්‍යාණියන් සමඟ යහන්ගතවීම තමන්ට ගැටලුවක් නොවන නමුදු ඈව විවාහ කරගැනීමට ඉඩ දිය නොහැකි බවයි. එම ඉල්ලීම ඉවතලන නාරයන් කළ්‍යණියන් කැන්දාගෙන ආවත් පසුව ඈ සිය දිවි හානි කරගන්නේ තම ගනුදෙනු කාර භවතෙක් තම මාමන්ඩිය කරගැනීමට ඈ තුළ ඇති අකමැත්ත නිසයි. අඳුරේ පව් කරන දනන් එළියේ රවන්නේ එහෙමයි.

මෙලෙස කවදත් ගණිකාවගෙ නිරුවත බැලීමට ලොල් වූ සමාජයට, සමාජයේම නිරුවත පෙන්වාදෙමින්, ගණිකාවගෙ ලැමට යටින් වූ ළය හඳුනා ගැනීමට වෙර දරන නිර්මාණයක් ලෙස මෙම ගීය නිම වෙනෙවා.
වස්දන්ඩත් සමග මුසුවන අමරසිරි හඬ ශ්‍රාවක සිත් සතන් භාවනීය දැහැනකට සමවද්දා ගනිමින් ගායනයේ යෙදෙනවා. විශෙෂයෙන්ම මෙහිදී සන්ගීත භාන්ඩයක් විදියට ගිටාරය යොදාගෙන ඇති ආකරයත් අපූරුයි. එය ගිටාරයකට වඩා සිතාරයක හඬක්  නංවමින් තරම දුකමුසු ස්වරයක් ගීතයට ගෙන එනවා. මේ ගීතය ඇහෙද්දි මනස පත් වෙන භාවනීය තත්වයන් වචනයෙන් විග්‍රහය අසීරු නිසාම අහලම බලන්න...

මෙවැනි ගීතයක් සිංහල ගීත කෙතට එක් කරන්න රචනයෙන් දායකවුනු රණ්බන්ඩා සෙනෙවිරත්නයන්ටත් සංගීතයෙන් දායකවුනු ප්‍රේමසිරි කේමදසයන්ටත් අමාමහ නිවන් සුවම පතන්නෙ ගීයෙ එකම හවුල්කරු ලෙස ජීවතුන් අතර සිටින අමරසිරි පීරිස් සහෘදයාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබ තවත්දිගු කලක් සිංහල ගී කෙත පෝෂණය කරන්නට අවැසි ශක්තිය, ධෛර්‍ය්ය  වාසනාව ලැබේවායයි පතමින්.
 
 
Google+