Sunday, December 30, 2012

රණබිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්...!

මේ මොහොත වන විටත් ලිවීමෙහි ඇත්තාවූ නිරාමිස සුවය මවිසින් වින්දනය කරමින් සිටිනවා. ඉතින් ඒ සතුටෙ කොටස්කාරයො වෙච්ච පාඨක ඔබ සැම ලබාදුන් අදහස්, විවේචන සහ දිරිමත් කිරීම් සියල්ල වෙනුවෙන් සියල්ලන්ටම තුතිමල් මල් මිටක් පුදමින් අද සටහන අරඹනවා... 

අදත් අපි කතා කරන්න යන ගීතය ඉතාමත් සුවිශෙෂී ගීතයක්. ඒ කාරණා කීපයක් නිසා. ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රය බැලුවම අපිට දකින්න ලැබෙන සුවිශෙෂී ලක්ෂණයක් තමයි ඒකපුද්ගල ප්‍රසංඟ. ඒවායේ තියෙන විශේෂත්වය තමයි ඒ ඒ ගායකයෝ ඒ ප්‍රංසඟ වලට ලබාදී තිබුණු අනන්‍යතාව. වික්ටර් රත්නායකයන්ගෙ "ස" ප්‍රසංඟයෙන් ඇරඹිලා ගුණදාස කපුගේ ගේ "කම්පන", ගුණදාස කපුගේ ගේම "රාවය", නන්දා මාලිනියන්ගේ "පවන", සුනිල් එදිරිසිංහයන්ගෙ "සඳකඩපහන" යනාදී විදියට මේ ප්‍රසංඟ විකාශනය සිද්ධවෙන්නෙ ජනමනස රසාඥතාවෙන් වගේම ආකල්පමය වශයෙන් පෝෂණය කරමින්. 

ඒ ඒ ප්‍රසංඟ වලට වෙන්වෙච්ච ගීත කොට්ඨාසයක් තිබ්බා. ඒ ගීත වෙන ප්‍රසංඟ වලදි ගැයුනෙ හරිම අඩුවෙන්. මොකද ඒ ගීත සියල්ලම අදාල ප්‍රසංඟයට අදාලව එහි තේමාවන්ට ගැලපෙන අයුරින් සකස් වෙලා තිබ්බ ඒවා නිසා. හොඳම උදාහරණය තමයි ගුණදාස කපුගේ ගේ "කම්පන". කාලීනව පැවති නොයෙක් සමාජ විෂමතාවයන් වගේම සමාජ අසාධාරණයන්ට විරුද්ධව නැගුණු ප්‍රබල හඬක් විදියට තමයි "කම්පන" ප්‍රසංඟය සමාජගත වෙන්නෙ. ඉතින් ඒ නිසාම කාලයක් යද්දි මේ "කම්පන" ප්‍රසංඟය වගේම එහි ගීතත් තහනම් වෙනෙවා. කොහොමත් ගුණදාස කපුගේ කියන්නේ කවදත් සමාජයෙ පොඩි මිනිහගෙ පැත්තෙ ඉඳගෙන තම නිර්මාණ හරහා ලෝකය දැකපු කෙනෙක්. ඔහුගේ බොහෝ ගීත වල තම සමාජ දේශපාලන භාවිතාවන් මොනවට සඳහන් වෙනෙවා.

 අද මම තෝර ගත්ත ගීතයත් ඒ විදියේ ප්‍රසංඟ වල බොහොම ජයට ඇහිච්ච ගීතයක්. ගීතය තමයි රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කල ගුණදාස කපුගේ සන්ගීතවත් කොට ගායනය කරන "බිම්බරක් සෙනග ගැවසුන" ගීතය. මේ ගීතයට සෘජුවම පාදක වුනු සම්පූර්ණ නිධාන කතාවක් නැතත්, මෙය නිර්මාණය වන්නෙ තමා අත්දැකපු යම් සිදුවීමකුත් ඒ ඔස්සේ අවදි කරන තම පරිකල්පනීය ශක්තිය යොදගනිමින් ගොඩනගා ගන්නාවූ සිතුවිලි ධාරාවකුත් එක්ක. ඒ අනුව මේ ගීතයෙ එක කොටසක් ඔහුගේ අත්දකීමක් වනවා සේම තවත් කොටසක් ඉතිහාසයේ සඳහන් යම් යම් කරුණු හා ගලපමින් ඔහු ගොඩනගා ගන්නවා.ගීතයේ පැදි පෙල දිස් වෙන්නෙ මේ විදියට.

බිම්බරක් සෙනග ගැවසුන 
චන්ද්‍ර සූර්යා ඉපදුන 
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...! 

යුද්දේකට ඇවිත් රුපුසෙන් 
සත් මුහුදුමතින් ගුවනින් 
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...! 

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් 
කුංචනාදයෙන් ඇලළුන 
වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...! 

මිනී මල් පිපුන සීතල 
නිම්න භූමියේ ඇටකටු 
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...! 

කැළෑ මල්පිපී රතු තොල් 
වලින් කෑගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...! 

වෑකන්ද කඩා බිම්කටු 
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...! 


 ගීතය මෙතැනින්

දැන් ගීයේ අරුත් හොයන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් හැරෙන්නම් අර රචකයාගෙ අත්දැකීම කොයි වගෙ එකක්ද කියල බලන්න. 

රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නෙ තෙල්ලඹුරේ කියන ග්‍රාමයේ ඉපදිල පසු කාලීනව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරල අනතුරුව ගුරුවෘත්තියේ නියැලිච්ච කවියෙක්, රචකයෙක්. ජීවිතේ වැඩි කාලයක් ඓතිහාසික ගාලු කොටුපවුරෙ බෝඩිමකම ගෙවා දමන මොහුට තම නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගන්නට ඕලන්ද කොටුවත්, ගාලු මුහුදත් මහෝපකාරි වෙන්නට ඇති. 

 ඒ කොහොම උනත් මේ කියන කාලෙ වෙන කොට රත්න ශ්‍රී සේවය කරන්නේ මොණරාගල ප්‍රදේශයේ දුෂ්කර පාසලක. වර්ෂය 1979. හිතෙනවා වර්ෂය කියන එකේ පොඩි වැදගත්කමක් තියෙනෙවා කියලා. 1977 බලයට පත් වුනු ජයවර්ධන ආණ්ඩුව මේ සමය වන විට ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙනෙවා. සිරිමාවො ආණ්ඩුවේ දරදඬු පාලනයෙන් සහ හාල් පොලු සීනි පොලු සම්ප්‍රධායන්ගෙන් හෙම්බත් වෙලා හිටපු ජනතාව හරිම ආදරයෙන් වැළඳගත්තු ක්‍රමවේදය හඳුන්වලා දුන් යුගය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම බොහෝමයක් රාජ්‍ය ආයතන වෙනත් පුද්ගලික අංශ වලටත් ඇතැම් විට බහුජාතික සමාගම් වලට රටේ සම්පත් විකිනීමත් ඇරඹෙනෙවා. ඉතින් මම වර්ෂය හරියටම සඳහන් කලේ ඒ යුගුයේ තිබුනු දේශපාලනික තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගන්න. 

රත්න ශ්‍රී සේවය කරපු පාසලට යන පාර වැටිල තියෙන්නෙ මොනරාගල කච්චේරිය මැද්දේන්. දවසක් උදෙන්ම පාසලට පිටත් වෙන්න යන ගමනෙදි විජේසිංහයන් දකිනවා මේ කච්චේරිය ගාව ලොකු උද්ඝෝෂණයක්. කරුණු කාරණා විපරම් කරලා බලද්දි උද්ඝෝෂණය සිද්ද වෙන්නෙ උක් වගාවට සාම්ප්‍රදයික වගා බිම් පවරාගැනීමකට විරුද්ධව. ඒ වෙලාවෙ එතැන කියවුනු බොහොම ආකර්ෂණීය එමෙන්ම සංවේදී සටන් පාඨයක් විජේසිංහයන්ගෙ නෙත ගැටෙනෙවා. ඒකෙ සඳහන් වෙන්නේ "මුතුන්මිත්තන් ගේ ඇටකටු වැළලූ ඉඩම් බහුජාතික සංවිධානවලට නොදෙනු" ලෙසයි.ඒ ඔස්සේ තමයි ඔහුගේ සිත මේ නිර්මාණයට අවශ්‍ය කරන කරුණු ඈඳා ගැනීම සිද්ද කරන්නේ. මේ ගැන තවත් කාරණා බොහෝමයක් කියන්න තිබ්බත් ඒ සියලු කතා ගීතයේ වාච්‍යාර්ථය ගලපන අවස්ථාවෙදී කියන්න ඉතුරු කරගන්නවා.

 කොහොමින් කොහොම හරි මේ සන්වේදී පුද්ගලයා තමා යන්න ගිය ගමන නවත්තලා මේ අහින්සකයන්ගෙ උද්ඝෝෂණයට සහයෝගය දුන්නා යැයි කියල තමයි කියවෙන්නේ.

මේ වෙලාවේ රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ සිතුවිලි සමුදාය අවදි වෙනෙවා. මේ පවරන්න යන භූමිය කාගේ නම් සම්පතක්ද? මේ කියන මුතුන් මිත්තන් කවුද? මේ භූමියේ ඉතිහාසය කෙබඳු එකක් වීද? රචකයගෙ හිත තුල අවදි වෙන මේ වගෙ දහසකුත් එකක් ප්‍රශ්න වලට නැගෙන පිළිතුර විදියට තමයි මේ පැදි පේලිය ඉස්මතු වෙන්නෙ. මේ ගීතය වෙල්ලස්සේ ගීතය ලෙසත් හඳුන්වනවා. එහෙම හඳුවන්න හේතුවෙන්නේ මේකෙන් කියවෙන ඛේදවාචකයට හේතු වන ප්‍රදෙශය වෙල්ලස්ස වීමයි. වෙල්ලස්ස කියන්නෙ අතීතයේ බොහොම සශ්‍රීකව තිබුනා යැයි කියන ප්‍රදේශයක්. වෙල් ලක්ෂයක් තිබූ බැවින් වෙල්ලස්ස ලෙස නම යොදන්නට හේතු වුන බවත් කියවෙනෙවා. 

ඒ කොහොම උනත් ඒ ප්‍රදේශය සුදු අධිරාජ්‍යන්ගේ පාලනයට නතු වන් තුරුම ධන ධාන්‍යයෙන් ආරූඪ ව පැවති බව ඇතම් ඉංග්‍රීසි ජාතිකයන්ගෙ වාර්තා වලින් පවා කියවෙනවා...! හැබැයි 1818 කැරැල්ලෙන් පස්සෙ මේ වෙල්ලස්ස නැත්තටම නැති වෙනෙවා.! 

1818 කැරැල්ල ඌව වෙල්ලස්ස කැරැල්ල් ලෙස හැඳින්වෙන්නත් හේතුව ඊට වැඩිම දායකත්වයක් සැපයෙන්නෙ වෙල්ලස්ස ජනතාවගෙන් වීම. කැප්පෙටිපොලලා, ඇල්ලෙපොල නිලමෙලා, කොහු කුඹුරෙ රටේ රාලලා කැරැල්ලට එක්වෙන්නෙ මේ වෙල්ලස්සෙන්. ඒ නිසාම කැරැල්ල මර්ධනයේදි නැවත නගා සිටුවන්න බැරිවෙන විදියටම මේ භූමිය ගිනිබත් කරනවා බ්‍රවුන්-රිග් ගෙ අණින්. ඌව වෙල්ලස්සෙ සිංහලයගේ ආර්ථිකය විනාශ කරන්නේ හරකබාන මරලා වෙල් යාය ගිනිතියලා. මේවා අපිට ඉතිහාසයේ සැඟ වුනු කාරණා විතරයි. එත් ඒ කාලයේ ලන්ඩනයේ ටයිම්ස් පත්තරේ පවා මේ බදුල්ල අවට ප්‍රදේශයෙ වගාවන් සහ පළතුරු වතු ගිනිතැබීම ඉතා බියකරු පියවරක් බව වාර්තා කරනවා. වෙල්ලස්සෙ කැරැල්ලෙන් තිස් දහසක් සෙනග මැරෙනෙවා. රටේ මුළු ජනගහණය මිලියන හතරක් වෙද්දි..! වෙල්ලස්සෙ වයස අවුරුදු දොලහටවැඩි සියලු පිරිමි මරළා දාල සිංහල ගෑනු දූෂණය කරල දාල මුළු ප්‍රදේශයම ජන ශූණ්‍ය ප්‍රදේශයක් කරනවා. එවැනි වූ බියකරු ම්ලේච්ඡත්වයට පත් වෙච්ච ඉතිහාසයක් සහිත මිනිස්සු උන්නු ප්‍රදෙශයක් ඒ වෙද්දි මේ භූමිය. ඉතින් ඒ මිනිස්සුන්ගෙ බිමත් පවරගන්න යන කතාව තමයි ගීතයෙන් කියවෙන්නෙ. 

බිම්බරක් සෙනග ගැවසුන 
චන්ද්‍ර සූර්යා ඉපදුන 
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...! 

රචකයා මුලින්ම වෙල්ලස්ස හඳුන්වන්නෙම "බිම්බරක් සෙනග ගැවසුනු" එමෙන්ම චන්ද්‍ර සූර්‍යා ඉපදුනු ප්‍රදේශයක් විදියට. ඒ මුල් පද පේලියෙන්ම දෙන්න හදන අදහස විදියට මම දකින්නේ වෙල්ලස්සේ තිබූ සශ්‍රීකත්වය සහ සෞභාග්‍ය. 'බිම්බරක්' කියන වචනය බිම බර වන පරිදි සෙනග ගැවසෙන ප්‍රදේශය යන්න ඉස්මතු කිරීමට යොදා ගන්න ඇති කියල හිතනවා. චන්ද්‍ර සූර්යා යනු ඇතැම් විට ඒ භූමියේ පහල වුනු වීර වරයෙක්ම වෙන්න ඇති. ප්‍රදේශය වෙල්ලස්ස නිසා මම හිතන්නෙ ඒ කැප්පෙටිපොල විය යුතුයි කියලා. එවැනි වීර වරයින් පහල වෙච්ච භූමියක තිබිය යුතු ප්‍රෞඪත්වය රචකයා විසින් ප්‍රශ්න කරන්නෙ "ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ" ලෙස අසමින්. මේ ගීතයේ හැම වෙලේම එක අන්තයක ගුණදාස කපුගේ තනියම ඉතා සන්වේදී විදියටත් අනික් අන්තයේ ටිකක් තද හඬක් නැගෙන පරිදි සමූහයක් විසිනුත් ගායනයේ යෙදෙන බවත් පේනවා. මම හිතන්නෙ උද්ඝෝෂණයක නැගෙන ජනහඬ මේ සමූහයා විසින් කරන ගායනාව ඔස්සේ සන්ගීතවේදියා සවිඤ්ඤානිකව හෝ අවිඤ්ඤානිකව ඉස්මතු කරලා තියෙනවා.මේ මුල් කොටස ගායනය කරන්නෙ කපුගේ විසින්.ඉන් අනතුරුව ජනතාව නගන හඬ විදියට තමයි ගීතයෙ ඉතුරු කොටස ප්‍රකාශ වෙන්නෙ. 

යුද්දේකට ඇවිත් රුපුසෙන් 
සත් මුහුදුමතින් ගුවනින් 
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...! 

මේ කොටසින් පිළිබිඹු වෙන්නේ මේ ඛේදවාචකයෙන් පීඩාවට පත් වෙන මිනිස්සුන්ගෙ හඬ. වගා භූමි පවරාගැනීම උදෙසා බහුජාතික සමාගමුත්, ආණ්ඩුවත් උන්ගෙ ඩෝසරුත් මිනිස්සුට පේන්නේ යුද්දෙකට එන රුපුසෙන් වගෙමයි. සත් මුහුදුමතින් ගුවනින් මේ සේනාවන් එනවා යයි පැවසීමෙන් ගම්‍ය වන්නේ ඔවුන් සතු බලය කියලයි මට හිතෙන්නෙ. මොකද මේ ක්‍රියාව රාජ්‍ය මට්ටමෙන් සිද්ධ වෙන්නක්. මේ ගනුදෙනුව කෙරෙහි මේ අහින්සක මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. කොටින්ම මේකෙදි ඔවුන්ගෙ ප්‍රතිවාදීන් ඔවුන්ට වඩා ගොඩක්ම ප්‍රබලයි. ඉතින් සත් මුහුදු මති ගුවනින් නැගෙන ආධිපත්‍ය ලෙස දක්වා තියෙන්නෙ ඒක වෙන්න ඔන. ඒවගේම මේ කාරණවට සම්බන්ධවන පාර්ශවයන් පිටරට හෝ බහුජාතික සමාගම් යන්න ඉස්මතු කරන්න යොදපු දෙයක් වෙන්නත් පුළුවන්. 

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් 
 කුංචනාදයෙන් ඇලළුන 
වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...! 

මේ පැදිපෙළ ශ්‍රාවක සිතතුලට වැදී චිත්තරූප ඇඳ දැක්වීමෙ කටයුත්ත මනා ලෙසම ඉටු කරනවා. ට්‍රැක්ටරය නැමැති අයෝමය හස්තියාගෙ කුංචනාදයෙන් ඇළලීගිය හිත් ඇති වෘක්ශ දේවතාවන් බිම වැටී ප්‍රාණය අයදියි. "බිම වැටී පණ ගසයි" යන පදය ප්‍රකාශය වන කපුගේ ස්වරය දනවන්නෙ දුක්මුසු ස්භාවයක්. මේ සහගහන අපරාධයේ කුරිරු බව බොහොම තීව්‍ර විදියට රසිකයා හමුවට ගෙන ඒමට ට්‍රැක්ටර් හා ඩෝසර හමුවේ කොටන් බවට පත්වන ඉපැරණි වෘක්ශ පතාකයන්ගේ වේදනාත්මක අඳෝනාව රචකයා තම රචනයට ඈඳාගෙන ඇති අයුරු අපූරුයි.

මිනී මල් පිපුන සීතල 
නිම්න භූමියේ ඇටකටු 
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...! 

භූමියේ මුතුන්මිත්තන්ගේ ඉතිහාස කතන්දරයත් සමග රචනය සෘජුවම සම්බන්ධකම් පත්වන අවස්ථාවක් ලෙස මේ පද පේලි දෙක හඳුවන්න පුලුවන්. 1818 කැරැල්ලෙන් පසුව ඉතිරි වුනු වෙල්ලස්ස සැබවින්ම සොහොන් බිමක්. ඉතිරිවූ ජනයාද පානම් පත්තුවට පැනගිය බව කියවේ. මේ භූමියේ වැලලී ගිය ඇටකටු රටක නිදහස පතා සටන් කල උන්ගේ ඇටකටුය. මේ පොලෝ තලය මත ඉපිද, මේ පොලෝ තලය වෙනුවෙන් සටන් වැද අවසානයේ මේ පොලෝ තලය සිපගනිමින් ඔවුන් අවසන් ගමන් ගොස් ඇත. හතර රියන් කඩ ලෙස මෙහි හඳුන්වන්නේ දේහය තැන්පත් කිරීමට අවශ්‍යය බිම් ප්‍රමාණයයි. ඇටකටු විලාප නගන්නේ තමන්ගේ මිනීවලේ ඉඩ ටිකවත් තමන්ට හිමිනැති බැව් දැනගැනීමෙන්ය. මේවූ කලී එක්තරා විදියක ප්‍රබල ප්‍රහසනයක් මෙන්ම උපහාසයක්ද මතුකරන්නකි. අප ජාතික වීරවරයන් සමරයි. ජාතික වීරදිනයක්ද සමරයි. ඒත් අවසානයේදී ඒ වීරවරයින් ගේ දේහය තැන්පත් කල භූමිය පවා එම වීරයන්ව අමානුෂිකලෙස ඝාතනය කල සුද්දන්ගෙ වත්මන් ඒජන්තයින්ට වගාවක් සඳහා බාරදී එතුලින් සංවර්ධනය එලඹෙන තුරු කිසිඳු හිරිකිතයකින් තොරවම බලා සිටී. 

කැළෑ මල්පිපී රතු තොල් 
වලින් කෑගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...! 

මේ පැදි පේලියෙන්ද ඉස්මතු වන්නේ ජනතාව පෙලෙන්නාවූ අසාධාරණය සහ ඊට විරුද්ධවන ජනතා හඬත්ය යන බව මගේ හැඟීමයි. ඒ නමුත් ඒ සමගම ගෙන හැර පාන "ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි" යන වැකියෙන් රචකයා අදහස් කරන්නට යැයි සිතෙන යමක් සිතා ගැනීමට මට නම් තරමක් දුෂ්කරය. මා සිතනා පරිදි මෙවැනි අපරාධයක් සිද්ධවෙද්දි භූමිය රැකීමට කැපව සිටින දෙවි දේවතාවුන් කොහේද යන ප්‍රශ්නය රචකයා විසින් නගන අවස්ථාවක් වියයුතුය මෙය. 

වෑකන්ද කඩා බිම්කටු 
 කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...! 

වෙල්ලස කියන්නේ රණබිමක්. ඒ බිමේ බිම් කොටස් කටු කම්බි ගසා වෙන්කර ඒ ඓතිහාසික රණ භූමියෙ හිසගසා දමනා කඩුව බිම දමන ලෙසකරන තද බල ඉල්ලීමකින් රචකයා මේ පදපේලියත් සමග තම නිර්මාණයේ අවසානය දකිනවා. රණභූමිය කියන්නෙම ජාතියක අභිමානයට හේතුවන තැනක්. එහෙව් වූ තැනක හිස ගසා දමනවා කියමින් ඔහු යොදගන්නා උපමා භවිතාවන් හරිම ප්‍රබලයි.ඔහු සඳහන් කරන විදියට රණබිමේ හිසගසා දමන කඩුව ලෙස ක්‍රියාත්මක වන්නෙ මේ උක්ඳඬු වගාව උදෙසා වන යාන්ත්‍රණයයි. ගීතය අවසන් වෙන්නේ "දමවු" කියන වචනයෙන්. ඒ හරහා උද්ඝෝෂණයක පරිසරයත් එම ඉල්ලීමේ දැඩි බවත් මනාව ඉස්මතුව පේනවා. ඒ වගේම ගීතය පුරාවටම කලා වගේ එම දැඩි ඉල්ලීම කෙරෙන කොටස ගායනා කෙරෙන්නෙත් අර සමූහ ගායනයක් ලෙසට ජනතාවගෙ හඬ නියෝජනය කරමින්. 

එ වගේම මේ ගීතයේ යොදාගන්න සංගීතය ගැනත් ටිකක් කතා කරන්න හිතුවා. මේ ගීතය රසවිඳීමේදි නියම ගීතය තෝරා ගැනීමෙට ප්‍රවේසම් වෙන එක වැදගත්. මොකද පස්සෙ කාලෙක කරපු ඇතැම් පටිගත කිරීම් වල අර නියම රසය ඉස්මතු වෙන්නෙ නැහැ. ඒ නිසාම කියවද්දි අනිවාර්‍යෙන් මම මේ දීල තියෙන ගීතයම රසවිඳින්න අමතක කරන්න එපා. ගීතයේ ආරම්භයේදීම තරමක වීර රසයක් උද්දීපනය වෙන අයුරෙන් සිතාරය සහ පහතරට බෙරය උපයෝගී කරගනිමින් ඒ හෙළ රණ හඬ නැවත් ප්‍රතිනිර්මානයක කර තියෙනෙවා. ඒ තුලින් නැගෙන්නෙ සිංහල කැරැලි වලින් නැගිච්ච රණහඬක්. ඒක බොහොම ප්‍රබලව කපුගේ සන්ගීතය විසින් යොදාගෙන තියෙනෙවා. මම නිවැරදි නම් ගීතය පුරාවට යොදාගෙන තියෙන්නෙ පහතරට බෙරයත්, සිතාරයත්, වයලින් සහ බටනලාව පමනයි. වයලීනයත්, වස්දන්ඬත් එකතුවෙලා වර්තමානයේ ඛේදවාචකයක දුක කියද්දි, යක් බෙරෙත් සිතාරයත් අතීත හෙළ රණ හඬේ අභිමන් කියාපනවා. 

 ගීතය අහද්දි හිතෙනවා රත්න ශ්‍රී ගේ අදහස් වලට සහ ඔහුගේ මේ සිද්ධිය නිසා සිතේ ඇඳුනු සිතුවිලිවලට කපුගේ තම සන්ගීතයෙනුත් හඬෙනුත් මොනතරම නම් සාධාරණයක් ඉෂ්ඨ කරලද කියලා. ඒක නිසාම වෙන්න ඇති රත්න ශ්‍රී පවසන්නෙ තමන්ගේ දෙශපාලන සහ සමාජ භාවිතාවන් කපුගේගෙ එම භාවිතාවන් සමග හරියටම ගැලපුනා කියලා. කොහොම උනත් මේ ගීතය නිර්මාණය වෙන්නෙ කපුගේගෙ "කම්පන" ප්‍රසංගය උදෙසාමයි...! ඒ කාලේ ආණ්ඩුව මේ වගේ ගීත ඔස්සේ කම්පනය වුන නිසාමද කොහේදෝ මේවා කාලයක් ප්‍රසංගය යද්දි තහනම් වෙනෙවා. 

මේ ගීතය ඇහෙද්දි මට එක අතකින් නන්දා මලිනියන්ගේ "රට කරවන්න නම්" ගීතයත් අනෙක් අතට රතු ඉන්දියානු නායක සියැට්ල් තම භූමිය රැකගනීම උදෙසා එබ්‍රහිම් ලින්කන් ට යැව්වායයි කියන ලිපියත් මතක වෙනවා. ඒ දෙකම සමාන සංසිද්ධි දෙකක්. 

කොහොම උනත් රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය සඳහා  

කන්ද උඩින් බැස්සකලට පෙනෙද උළු මාලිගාව 
බිම්බරක් සෙනග ඇවිත් රුවට කෙරෙව් මාලිගාව 

කියන ජනකවියෙත්  

යුද්දෙටත් ඇවිත් සඳු පිට නැගිලා පරංඟි 
ඒ නමුත් අවුත් කොළඹට ගොඩ බැහැලා  

කියන හටන කවියෙත් ආභාෂය ලබාගෙන තියෙනවලු. ලිපිය සකසද්දි 2012 දෙසැම්බරයේ ලංකාදීප සඳැල්ල අතිරේකයේ පලවෙච්ච ශාන්ත කුමාරයන් සටහන් තැබූ රත්න ශ්‍රී විජේසිංහයන් සමග සිදුකර තිබුණු පුවත් පත් සාකච්චාවත් උපකාරී වුනු බව සටහන් කරන්නේ ඒ පාර්ශවයන්ටත් ස්තූතිය පලකරමින්. නැවත හමුවනතුරු ඔබගෙ සියලු යහපත් කර්තව්‍යන් උදෙසා සාර්ථකත්වයම පතමින් හා ඒ වගේම ලබන්නාවූ නව වසරටත් සුබ පතමින්ම සමුගන්නවා. :)

Sunday, December 16, 2012

නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ...!



හිතන්න කතා කරන්න අප්‍රමාණ වූ තරමක් වස්තු බීජ සපයන තවත් විෂිශ්ට ගේය පදරචනයක් හිතේ තියාගෙන අදත් මම මගේ බ්ලොග් පිටුවෙ සටහන් වෙන දෙවන ලිපිය අරඹනවා මෙන්න මේ විදියට... :) ‍

යොවුන් ප්‍රේමය කළා ලෝකයේ නිර්මාණ බිහිවීමේ ලා කරඇති දායකත්වය කොතරම්ද, ඒසාම දායකත්වයක් සපයන තවත්මහඟූ දායාදයක් තමයි මාතෘත්වය කියන්නේ. මවකගෙ සෙනෙහස ගේය පදරචනාවන්ට, සාහිත්‍ය කෘති සහ වෙනත් කළා නිර්මාණයන්ට නැගුනු අවස්ථාත් බොහෝමයි...

තමන්ගෙ දරුවා මෙලොව බිහිකල දවසෙ ඉඳලා අනේකවිද කැපකිරීම් කරන උදාර චරිතයක් විදියට තමයි "අම්මව" අපි දකින්නේ. අම්මා කෙනෙක් විසින් තම දරුවට දක්වන ආදරයට, සෙනෙහසට සීමා මායිම් නැහැ, කාල පරාස නැහැ. ඒක බොහොම අකාලික, පිරිසිඳු, කොන්දෙසි විරහිත සෙනෙහසක්. ලෝකයම තමාට එරෙහිව තමන්ව ප්‍රතික්ශේප කරපු දවසටත් ඇගේම ලෙයින් මසින් හැදුනු, කිරෙන් පෝෂණය වුන තම දරුවා වෙනුවෙන් අම්ම ඉඳීවි ඔබ ලඟින්ම. ඒක අදටත් එහෙමයි. ඉස්සරත් උනේ එහෙමයි කියල ඉතිහාසය සාක්ෂි දරනවා. තමන්ගෙ පැටියගෙ ප්‍රාණ අයිතිය වෙනුවෙන් ලේ, දහඩිය හෙලපු අම්මාවරු ඉතිහාසයේ දුළබ නැහැ. මනුෂ්‍ය ලෝකයේ ඉඳලා සිවුපා ලෝකයටම මවකගෙ ගුණ සුවඳ පැතිරිලා යන්නෙ එහෙමයි....

එහෙව් වූ සෙනෙහසක් එහෙව් වූ ආදරයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.  මව් සෙනෙහස ගැන ලියවෙච්ච ගීත බැලුවම ඒවා අකාර කීපයකට බෙදිල යනවා. සමහර ගීත ඉතාම සන්වේදී විදියට මවකගෙ සෙනෙහස හා ඇගෙ ගුණ සුවඳ විස්තර කරනවා. තවත් සමහර ගීත වලින් මව්ගුණ කියවෙන්නෙ කිසියම් වරදකාරි බවක් මුසු වෙච්ච පාපොච්චාරණයක් එක්ක. ඒ තුල ප්‍රහර්ශයකට වඩා දුක වැඩියි. ඔන්න ඔය දෙවෙනියට සඳහන් වුනු විදියෙ ගීතයක් තමයි අද මම තෝරගත්තේ. ඉතින් තවත්  අටුවා ටීකා මොකටද ඇහුවලු...!

ගීතය තමයි "දවසක් පැළ නැති හේනේ". ගේය පදරචනය රන්බණ්ඩා සෙනෙවිරත්න, සන්ගීතය සහ සුගායනය විශාරද ගුණදාස කපුගේ..!

ඇත්තටම මේ "දවසක් පැළ නැති හේනේ" ගීතය තෝරාගැනීමට හේතු වෙන්නෙ මේ ගීතය කරුණු කාරණා ගනනාවකට විෂය වෙන එමෙන්ම වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කළ හැකි ගීතයක් වීමයි.. කොටින්ම එක ලිපියකින් මේ සම්බන්ධයෙන් කතා කරල ඉවරයක් කරන්නපුළුවන්ද කියන එක අභියෝගයක්. මේ ගීතය හා සඹැඳිව පවතින පසුබිම් කතාවක් හොයාගන්න මම සමත් වෙන්නෙ නැහැ. හැබැයි මේ ගීතය හරහා හිතන්න ලබාදෙන අවකාශය බොහෝමයි.

දවසක් පැළ නැති හේනේ අකාල මහ වැහි වැස්සා
තුරුළේ හන්හා ගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ...

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇළේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ...


කොළඹ අහස කළු කරගෙන  මුහුදු හුළඟ අඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ...


ගීතය මෙතනින්


ජීවිතය ඔහුට වැරදී ඇත. කීර්තිය යසස සොයාගිය ගමනේ තමන්ට වැරදුන තැනකදී සිදුකරන අතීතාවලෝකනයකින් ආරම්භය සිදුවේ. ජීවිතයේ මොන බාධක දුක් කම්කටොලු ආවත් අපව හැර නොයන සදාතනික වෘක්ෂය අම්මාය. මතකය ඇසුරෙන් අවදිකරන කවිසිත පැල නැති හේනක මහ වැහි වහිද්දී අම්මා ලබා දුන් තුරුලක උණුසුම පාදක කරගනිමින් රචනයේ යෙදෙයි. වැස්ස අකාල වැස්සකි. අකාල වැස්සට පෙර සූදානමක් නැත. එවැනි වූ අකාල වැස්සකින් වුව තම දරුවා වෙනුවෙන් කලයුතු යුතුකමක් වේද, හිඳිය යුතු පියවරක් වේද ඒ සිදුකරන්නෙ අම්මාය.. 

රත්න ශ්‍රී විජේසින්හයන්ට අනුව  කතානයකයාගේ  පියා මියගොසිනි. පැල නැති හේන යනු එයයි. තරුණ කතක් කුඩාදරුවන් සමඟ වැන්දඹු වූ කල දෙවන කසාදයකට යෑම සාමන්‍ය සිරිතයි. දරිද්‍රතාව, සහ රැකවරණය මත ඊට එරෙහි වීමද සාධාරණ නොවේ. එහෙත් දෙවන කසාදයකට ගිය පසු කුඩා දරුවනට විඳින්ට වන දුක් ගැහැටද අනේක අප්‍රමාණය. දරුවා වෙනුවෙන් කල යුතු කැපකිරීම කවරේද ඈ එය ඉටු කරයි. ඈ නැවත විවාහ ගිවිස නොගනී. 

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝද ඇළේ නැම්මේ

වැස්සක් වහින්නේ සියලුදේ තෙත බරිත කරගෙන. මේ කතානායකයා තෙමෙන්නේ නින්දා වැස්සකින්. ඒ වහින වැස්සෙන් නුවර වීදි යට වෙනවා. ඉතින් තවදුරටත් ඔහුට නුවර හිමි වරප්‍රාසද, තත්වය හෝ වටිනාකම හිමි නැහැ. ඔහුට අහිමි වෙන්නෙ හුදු භෞතික වටිනාකම් විතරක් නෙමෙයි. තම ආදරණීය බිරිඳගෙ සෙනෙහසත් නින්දා වැස්සේම සේදී යනවා. ඇත්තටම ජීවිතේ බින්ඳුවට වැටිච්ච වෙලාවක තමයි මේ රචනය සිද්ද වෙන්නේ. ඒක යොදාගෙන තියෙන උපමා රූපක භාවිතයෙනුත් මොනවට ඔප්පු වෙනවා..

ඒ ඔක්කොමත් හරි.! එතකොට පොලොන්නරුවෙ කළා වැවේ ඉඳලා අනුරාධපුරේ තිසා වැවට වතුර ගෙනියන ක්‍රි.ව. පස්වන සියවසේ ධාතුසේන රජතුමා අතින් නිමවුනයි කියන යෝධ ඇළ කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ?? අවන්කවම කිව්වොත් මේ කාරණය මම දැනගෙන හිටපු දෙයක් නම් නෙමෙයි... මගේ යාලුවෙක් මට කියපු විදියට කාරණය මේකයි...

යෝධ ඇළ කියන්නෙ හෙළ වාරි තාකෂණයේ අද්විතීය නිමවුමක්. ඒකේ තියෙන සුවිශේෂී ගුණය තමයි හැතපුමකට අඟල් හයක් වෙච්ච බැස්ම. ඒ බැස්මෙ වතුර ඉතා සීරුවට ගලායනවා. හැබයි බස්මත් නොදැනෙන සුළුයි. නින්දා, අවලාද හමුවේ බිරිඳගෙ සෙනෙහස නැතුවගියේ යම්සේද යොද ඇලෙ බැස්ම වාගෙ කියන අර්ථය ඇතුව ඔය කියන උපමාව භාවිතා වුනාය කියන එක තමයි අදහස. ඇත්තටම රචකයා ඒ වචන ටික යෙදුවෙ ඔය අදහස හිතේ තියාගෙන නම් පොඩ්ඩකට හිතල බලන්න ඔහු කොයිතරම් බුද්ධිමත් විදියට තම උපමා භවිතය සිදුකරලා තියෙනවද කියලා. හැබැයි මට නිකමට හිතුනා ඕකේ පොඩි පරහක් තියෙනවා..!

ඒ තමයි "නැම්ම" සහ "බැස්ම" අතර වෙනස. ඇළක නැම්ම කියන්නෙ වතුර පාර හැරිල යන වන්ගුවක් වගේ තැනක්... ඒක බැස්මට සමාන වෙන්නෙ නැහැ. ඔය ඔස්සේ පොඩ්ඩක් හොයලා බලනකොට තමයි මම දැනගන්නේ යෝධ ඇළේ බැස්මට විතරක් නෙමෙයි එකේ තියෙන නැම්මටත් සුවිශේෂී ගුණ දක්වනවාය කියලා. යෝධ ඇළේ තියෙන්න බොහෝඅ දුරට 'අක්-වක්' (Zig-zag) ගමන් මාර්‍ගයක්.  කොයි පැත්තට හැරෙයිද කියල විනිශ්චයක් දෙන්න අමාරුයි. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. හරියට නිකන් මඩේ හිටවපු ඉන්න වගේ. දැන් ඔන්න ඔයගුණය බිරිඳගෙ සෙනෙහස තුළ  ඔහු දකින්නෙ නින්දා අවලාද වලට මැදි වෙද්දී. මවගේ සෙනෙහස නොසෙල්වෙන මහා වෘක්ශයක් වෙද්දි බිරිඳගෙ සෙනෙහසෙ තියෙන සචල බව  නිරූපණය කරන්න රන්බණඩා සෙනෙවිරත්නයන් මේ යෝධ ඇලේ නැම්ම කියන උපමාව යොදාගත්ත බවට මගේ හිත කියනවා. මම එහෙම කියන්නෙ "හිත් පිත් නැති නුඹේ හිතත් දහ අට වන්ඟුව වාගේ" වගෙ උපමාවන් මෑත කාලීන රචනාවලින් තරුණියකගෙ හිතේ තියෙන අස්ථාවර බව නිරූපණය කරන්න යොදාගන්න නිසා. කොටින්ම දහ අට වන්ඟුවේ ගමනත්, යෝධ ඇළේ නැම්මත් කියන්නෙ එකම කතාවක්...

කොළඹ අහස කලු කරගෙන වහින්න සැරසෙද්දි, ඒ නින්දා වැස්සෙන් ඔහුට ගැලවුම හිමි වෙන්න අම්මගෙ සෙනෙහස යටතෙ විතරයි. ගොඩනගාගත් සියළු දේ නැතිවෙද්දි ඒ පිළිබඳ තවත් අනතුරු ඇඟ වෙද්දී අම්මගෙ තුරුලට නැවත දුවගෙන එන්නද කියල රචකයා විමසන විදිය හරිම සන්වේදනීයයි. එහි භාවනීය රසයන් උපරිමයකට පත් කරමින්ම ඊටම ඔබින විදියට ගුනදාස කපුගේ සන්ගීතවේදියානන් ඉහල ස්වර කණ්ඩයකට පිවිසෙමින් ගීතය නිමා කරන ආකාරයත් විශිෂ්ටයි. රණ්බන්ඩා සෙනෙවිරත්නයන් කියන්නේ සින්හල ගීත සාහිත්‍යට විශිෂ්ට පදමාලා සම්පාදනයේ යෙදුනු තවත් සොඳුරු මිනිසෙක්. පරිණත පුද්ගලයෙකු තමන් මවගෙ සෙනෙහස සන්වේදනය කරන ආකාරය මෙකෙන් මනාව ඉස්මතු කරනවා. විශෙෂයෙන්ම ඔහු මෙතනදි මව සහ බිරිඳකගේ සෙනෙහස සන්සන්දනයේ යෙදීමත් විශෙෂ දෙයක්...

කාලයක් පුරාවට ජීවිතේ තමන් සමීපව ආස්‍රයකරන ගනුදෙනු කරන එකම ගැහණිය අම්ම වන පුද්ගලයෙකුට වෙනත් තරුණියකගෙ ආදරය හිමිවීම සුවිශේශී කාරණාවක්. සමහර වෙලාවට මව ඊට දක්වන විරෝධයට සාධාරණ හේතු තියෙනවා. මවගෙ සෙනෙහස සහ බිරිඳගෙ ප්‍රේමය අතරට මැදිවන පුද්ගලයා අපේ බොහෝ ගීතවලට, නිර්මාණ වලට හේතු පාදක වෙලා තියෙනවා. හොඳම නිදර්ශණයක් තමයි "ඔබගෙ අම්මද නැත්තන්, ඔබගෙ බිරිඳද" ගීතය. මේ ගීතය හරහාත් එවැනි කරුණු දැක්වීමක් කරනවාය කියන එකයි මඟේ හැඟීම. 

හැබයි මේ සින්ඳුව ගැන මට ලියන්න හිතෙන්නෙ මේ ගීතයට පශ්චාත් නූතන වාදීන් ලබා දෙන තවත් අර්ථකතනයක් නිසා. ඊට කලින් මේකත් කියන්න ඕන. ගීතයකට අර්තකතන ලබදීම පුද්ගලානුබද්ධ කාරණාවක්. තමන් දකින විදියට තමන් හිතෙන විදියට එ ගීතයේ අර්ථය රස විඳීමට ඕන කෙනෙක්ට අයිතිය තියෙනෙවා. ඒත් මම හිතන විදියට සහ මට දැනෙන විදියට ගීතයක සෘජුවම කියාපන කාරණාවන්ට හාත් පසින්ම වෙනස් අර්තකතන ලබාදීම යම් කිසිවිදියක සාපරාධයක්...

පශ්චාත් නූතන වාදීන් මිනිසාගෙ ලින්ඟික නිදහස සහ අයිතීන් ගැන ගොඩක් කතා කරනවා. අශෝක හඳගමයන් දකින විදියට මේ ගීතය පුතාගෙ සිත තුල මව කෙරෙහි ඇතිවන ලින්ඟික හැඟීමක් විස්තර කරනවා. ඒක සාමන්‍ය බැඳීමක් නෙමෙයි. "මව් සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ" කියන පද පේලිය ඔවුන් අර්ථදක්වන්නේ බිරිඳගෙ සෙනෙහස නින්දා ඝැරහුම් නිසා නොලැබී යද්දී අම්මා තුලින් ඒ පහස ලැබීමට පුතකුගේ සිත තුල උපදින පාපිෂ්ඨ සිතිවිල්ලක් විදියට...!

මම මේ කාරණාව මේකෙ ලිව්වේ ඒක අනුමත කරන නිසාවත්, ඒ මතය සමාජගත කිරීමට ඕන නිසාවත් නෙමෙයි...! මේ විදියෙ ගීතයක් දිහා උනත් පශ්චාත් නූතනත්වය බලන කෝණය මෙන්න මේකයි කියල පෙන්නන්න...! නැවත හමුවන බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්.. :)

Sunday, December 2, 2012

සොඳුරිය මට නොකියාම ගියා..!


මෙන්න මේ මොහොතෙ හා හා පුරා කියල යුනිකෝඩ් එසැනින් පරිවර්තකය හරහා මම මගේ බ්ලොග් පිටුවට ලියන පලවන ලිපිය මේ දැන් ආරම්භ කරනවා.. ගොඩවැදුනු හැමෝටම ආයුබෝවන්.. :)

ආදරය, ලොව පුරා ලිය වෙච්ච මිලියන ගනනක් කවි සින්දුවලට ප්‍රස්තුත කාරණය වෙලා තියෙනෙවා.ආදරය හින්දා අවදි වුනු කවි සිත් බොහෝමයි.ඒකම නිසා වෙන්න ඇති ආදරය යනු මානව සන්හතිය උරුම කරගත් මහර්ඝ දායදයක් විදියට කවියො එය හැදුන්වූයේ... 

ඒකෙනුත් අනු ප්‍රභේදයක් වන විරහව වඩාත් සන්වේදනාත්මකයි. විරහව කියන්නෙ ඇත්ත ජීවිතය තුල කවුරුත් විදින්න කැමති නැති දෙයක් වෙන්න පුලුවන්. ඒත් මිනිස් සිත තුල අප විසින්ම නිපදවා ගත්තු "ෆැන්ටසි" තුල විරහව විඳින්න අපි කැමති. විරහව මේ තරම් ජනතාව වැලඳ ගන්න හේතුව ඒක විදියටයි මම දකින්නේ... 

තමන්ගෙ ආදරය වෙනුවෙන් සමහර පෙම්වතුන් අනේකවිද කැපකිරීම කරද්දි, එහෙම කැපකිරීම කරගන්න බැරුව සදහටම තම ප්‍රේමයේ චිතකය දල්වපු පෙම්වතුනුත් ඕනතරම්. නොයෙක් කාරණා නිසා එහෙම වෙනවා. සමහර විට මව්පිය විරෝධය, ආගම් කුල බේද නිසා හෝ වෙනයම් හේතු නිසා වෙන්න පුලුවන්. ප්‍රේමයේ වියෝ දුක හෙවත් විරහව උපදින්නේ අන්න එතනදි .එහෙම හටගන්න විරහව නිසා කවියො වගේම ගේය පදරචකයො බවට පත් වුනු පුද්ගලයන්ද ඉන්නවා. අද අපිත් කතා කරන්න යන්නෙ අන්න එහෙම කතාවක් බොහොම සන්වේදි භාව ප්‍රකාශනයක් විදියට එලිදක්වන ගීතයකට. ගීතය තමයි 'එදා මෙදාතුර කඳුලට විවර වූ'. ගායනය සන්ගීත් නිපුන් සනත් නන්දසිරි. මේ සින්දුව ගැන කතා කරද්දි මම මූලික වරදක් කරනවා. ඒ තමයි මෙහි සන්ගීතවේදියා හෝ ගේය පදරචකයා හෝ කවුරුන්දයි මා නොදැන සිටීම. එක වතාවක මේක වෙළඳ සේවයේ ප්‍රචාරය වෙන අවස්තාවක පදරචකයාගෙ නම කියවුනත් ඒක මගෙ මතකයේ නැහැ. ඒක නිසා මුලින්ම ඒකට සමාවෙන්නය කියල කියනවා... පද පේලිය ගත්තොත් මෙන්න මේ වගෙ...! 

එදා මෙදාතුර කඳුලට විවරවූ 
දෑස් පියන්පත් කවුළු වසා 
ළයේ ගලා ගිය සෙනේහයේ සුව 
සිනා පෙරූ රත් දෙතොල පියා... 

මිලාන වී ගිය රෝස කුසුම් පෙති 
කම්මුල් සුදු මැලි පාට පොවා 
දෑත ළයේ බැඳ අවසන් ගමනට 
සොඳුරිය මට නොකියාම ගියා... 

දැස් කවුළු පත් පලා කඳුළු කැට 
වැහෙද්දී මගේ දෑස් අගින් 
කාත් කවුරුවත් වෙතත් හිතයි මට 
පාත් වෙන්න ඔය මුවට උඩින්... 

ඈත්ව යන්නට සමුගෙන කවුරුත් 
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් 
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි 
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
 
ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි 

ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..

ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..

වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..

 ගීතයත් පොඩ්ඩක් අහල ඉන්නකො..

"එදා මෙදාතුර" ගීතය මෙතැනින්

 පසුබිම් කතාවත් කියලම මේක ගැන කතා කරන්න හිතුවා. මේ ගීතය ලියවිල තියෙන්න සත්‍ය සිද්ධියක් හේතු කරගෙන ආධුනික පදරචකයෙක් අතින්. සන්ගීත් නිපුන් සනත් නන්දසිරි තුමන් ව හම්බවෙන්න ආපු මේ පුද්ගලයා ආරන්චි විදියට දුම්-රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා මේ පද පේලිය ලියුව කරදහිය සනත් නන්දසිරි ට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

කතා නායකයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු තවත් එක් පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා... 

 ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..! 

අපේ කතා නායකයා, ඒ කියන්නෙ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුඩු කොඩි..! තරුණයට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න... 

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට මේ විදියට ගීතවත් වෙන්නෙ... කතාවේ අවසන් කොටස කියුවෙ නැතත් ඊට ඉස්සෙල්ලා මම ගීතය දිහාවට පොඩ්ඩක් හැරෙන්නම්...

එදා මෙදාතුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා - ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා... 

මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා - දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා... 


 තම ආදරණීය ප්‍රේමවන්තිය නොකියාම අවසන් ගමන් ගොස් ඇත. මෙතුවක් කාලයක් පුරාවට කඳුළු හැලීමටම ඇරුණු කවුළු පියන්පත් වසා දමා, හදවතේ රැව් පිලිරැව් දුන් ප්‍රේමයෙන් ඔකඳව සිනා පෙරූ රතු දෙතොල වසා දමා ඇය යන්න ගොස් ඇත. රෝස පැහැති දෙකොපුල් මිලානව සුදුමැලිවන්නට හැර, දෑත ලයේ බැඳ අසීමිත දුක් ගොන්න මෙලොව ඉතිරි කරදමා ඇය යන්න ගොස් ඇත...

රචකයා ආධුනිකයයි කීවද උපමා රූපක භාවිතය ඉහල මට්ටම පවතින බව පේනවා. ඉතාම සරල වුවද වඩාත් ලගන්නා සුලු වගේම දුක්මුසු ස්වරූපයකින් ඔහුගේ කවි සිත තම පෙම්වතියගෙ මියගිය දේහය විස්තර කරනවා. ඒකට හොඳම නිදර්ශනය වෙන්නෙ රෝස පැහති කම්මුල් මිලාන වෙලා සුදුමැලි වෙලා තියෙනව බව ඔහු කියන විලාශය...  

දැස් කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දෑස් අගින් - කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්... 
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් - මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින්...

 ඔබ වෙනුවෙන් මාගේ කවුළු පියන්පත් පලාගෙන කඳුළු වෑහෙද්දී ආදරයෙන් ඔබේ වත සිඹ ගැනීමට මට සිතෙන බැව් රචකයා පවසනවා. ඇත්තටම අපි ඕනතරම් දැකල තියෙනවා දේහය රැගෙන යන්න හදන අවස්තාවක මළ ගෙදරක ස්වරූපය, පවුලෙ ආදරණීය හිතවතුන් දේහය බදාගෙන අඬා වැලපෙන හැටි. රචකයාගෙ හිතට එන අදහසුත් ඊට ගොඩක්ම සමානයි.

දැන් කවුරුත් ඔබ හැර යාමට සැරසේ..සුවඳ පැනින් ඔබේ දේහය ඔවුන් නහවනවා..එ නමුත් මට තවමත් ඔබේ සුවඳ දැනෙනෙවා..එ නිසාම මම කිසිදිනක නුඹේ සුවඳ හැර නොයමි..!

තම මියගිය පෙම්වතියට ඔහු තම ආදරභක්තිය මෙන්ම පාක්ෂිකත්වය පෙන්නන විදියත් මේ කොටසෙ තියෙන බව පේනවා. මේ පැදි පේලිය පුරාවට ඔහු ඔහුට විඳින්න වෙච්ච කටුකත්වය සම්බන්දයෙන් කාටවත් චෝදනා කරන්නෙ නැහැ. තාමට සිදුවුනු අකරතැබ්බිය බොහොම සන්වේදී ආකරයට විස්තර කිරීමක් පමණයි වෙන්නෙ...

 ඒත් "ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්" කියන වැකියෙ වේදනාව මුසු වෙච්ච සියුම් උපහාසයක් තියෙන බවක් හිතෙනෙවා. මේච්චර කාලෙකට ඇගෙ ජීවිතය සුවඳවත් කිරීමට උත්සුක නොවිච්ච සමාජය අද ඈ මිය ගිය පසු සුවඳ පැනින් දේහය නහවනවා. ඒ චෝදනාව ඈව තෙරුම් නොගත් දෙමාපියන් කෙරෙහි එල්ල වුනු එකක් වෙන්නත් පුළුවන්...

මේ තරුණියගෙ මරණයෙන් පස්සෙ අපේ කතානායකයා ජපානයට යනවා. ඒ සමහර විට වෙනත් ජීවිතයක් ආරම්භ කරන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. ඒත් ඔහුට ඇගෙන් තොර වෙනත් ජීවිතයක් නැති බවයි පේන්නේ. ඒ කාලෙ වන විට මේ සින්දුව පටිගතකරලා ගුවන් විදුලියෙ විකාශනය වෙනෙවා. ආරන්චි විදියට හරියට එක වතාවක් මේ සින්දුව ඇහුවයින් පස්සෙ ජපානයේදිම අපේ කතානායක තරුණයා සෙසු ලෝකයාට ආයුබොවන් කියමින් සියදිවිහානි කරගනිමින් ජීවිතයට සමුදෙනෙවා. තම ජීවිතයේ සියලු බලාපොරොත්තු ඇයට ඌණනය කල ඔහු ඇය නැතිවූ ජීවිතයක වේදනාව විඳලා කෙටි කලකින් තම ප්‍රේමවෘතාන්තය ඹේදාන්තයකින්ම අවසන් කරන්නෙ ඔන්න ඔය විදියට...

සමහර විට "ආයේ දවසක එක හිත් ඇත්තන්..වී අපි ඉපදෙමු එකට ප්‍රියේ" කියල මතු ආත්මෙදි හමුවෙන නියාවෙන්ම ඇය සොයා ගිය ගමනක් වෙන්න ඇති...

ඒ මොනවා උනත් ජීවිතයේ හමුවෙන කිසිම අභියෝගයකට සියදිවි හානි කරගැනීම පිළිතුරු සපයන්නෙ නැහැ. ඒ නිසාම මේ සිදුවීම කාටවත් ආදර්ශයක් නෙමෙයි. නමුත් ඔවුන් තම ජීවිතයේ විඳපු කටුකත්වය ඔවුන්ව ඒ තීරණයට තල්ලු කලා වෙන්න පුළුවන්. සිය දිවි තොරකරගැනීම කිසිම ලෙසකට සාධාරණීකරනය කරන්න බැරි වුනත් අදාල පුද්ගලයට(සියදිවි හානිකරගන්නාට) ඒ අවස්තාව අනුව එම තීරණය ගැනීමට ඇති තරම් සාධාරණ හේතු ඇති බව බටහිර සමාජ විද්‍යාවෙ කියල ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. ඉතින් තවදුරටත් මේ සම්බන්ධයෙන් විචාරය සහ කරුණු දැක්වීම ඔබ සතුයි. තවත් රසබර ගීයක අරුත් සොයා නැවත දවසක එන බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්... :) 

ජයවේවා...!

Sunday, November 25, 2012

ඇරඹුම...!


 
මුලින්ම 'ගීයක මතක පොත'ට පිවිසෙන  සියලුම සහෘදයින් ඉමහත් ලෙන්ගතුකමකින් පිලිගන්නවා.!!!

සන්ගීතය අද සමාජයේ මිනිස් ජීවිත වලට ගොඩක්ම තදින් බැඳිලා තියෙන දෙයක්ය කියන එක මෙතැනට ගොඩවෙලා යන්න ආපු කලාකාමි හදවත් වලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ දුකට, සතුටට අපිට හිටිය බොහොම ලෙන්ගතු හිතවතා විදියටයි මම මේ 'ගීතය' දකින්නෙ.


ගීතයක් නිර්මාණය වෙන විදිය බැලුවත් ඒක හරිම අපූරු සන්සිද්දියක්.. කවුරු හරි කෙනෙක් තමන්ගෙ හිතට සන්වේදී වුනු මොනයම් කාරණාවක් හරි (මේක දුකක්, වේදනාවක්, විරහවක් සෙනෙහසක් වගෙම සතුටක් වෙන්නත් පුලුවන්) වචන වලට ගොනු කරනවා.. එහෙම හැදුන පදමාලාවකට තනුවක් නිර්මාණය වෙලා ඒ තනුවට ගැලපෙන විදියට සන්ගීතය මුසු වෙනවා.. අන්තිමට මේ විදියට හැදුනු ගීයට ගයකයගේ හඬ එකතු වෙනවත් එක්කම එම ගීයට හිමි අනන්‍යතාව ගොඩ නැගෙනෙවා.. ඉතින් ඔය විදියට පදරචකයා, සන්ගීත වේදියා සහ ගයකයා එකතු වෙලා ගීයට ප්‍රාණ වායුව පිඹිනවා.. කොටින්ම මේ තුන්කට්ටුව සුවහසක් ජනතාව ජීවත් කරවනවා..  මම එහෙම කියන්නෙ ඇත්තටම ඔබට හිතට දැනිච්ච, හදවත බොහොම ආදරයෙන් වැළඳගත්ත ගීතයක් ගත්තහම ජීවිතෙ කීවතාවක් නම් ඒ සින්දුව තමන්ගෙ හඬින් මිමිණිලා ඇත්ද?? මුලු මහත් ලන්කාවම ගත්තම දෙනෝදාහක් දෙනා ඒ ගීතය අප්‍රමාණ වතාවක් රසවිඳලා ඇති.. ඇත්තටම නිර්මාණයක් ජනතාකරණය වෙනවා කියන්නෙ ඒකයි...!


රසිකයා කොච්චර ආදරෙන් මේ ගීත වැළඳගන්නවද කිව්වොත් සමහරු "මේක නම් මටම කියාපු සින්දුවක්" කියල ඒ සින්දුවෙන් කියවෙන කාරණාවත් තම ජීවන අත් දැකීමත් සන්සන්දනයක යෙදෙනෙවා..

හැබැයි ගීයක් ගත්තම ඒකෙ නියම රසය ඉසමතු වෙන්න නම් මුලින් කියපු පදමාලාව, සන්ගීතය සහ හඬ කියන සන්-රචක තුනම සම්පූර්ණ වෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට හඬට, සන්ගීතයට ගොඩක් ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. පට්ට Music, Maxxa Voice කියල අපේ පරම්පරාවෙ උදවිය කියන්නෙ ඒ විදියට සන්ගීතයයි, හඬයි දිහා බලලා.. ගොඩක් වෙලාවට ගීයක යට වෙලායන  කොටස තමයි පදමාලාව.. සම්භාව්‍යය විදියට කිව්වොත් "ගේය පදරචනය".. 

එත් මම හිතන්නෙ වඩාත් ජීවිතයට සම්බන්ද වෙන ගීතයේ සන්වේදීම කොටස තියෙන්නෙ ඔය කියන පද මාලාව ඇතුලේ.. කවියා සමහර වෙලාවට ඒ විදියේ පදමාලාවක් තනන්න පෙලඹෙන විදිය හරිම අපූරුයි.. කවි සිත තුල තම ජීවන අත්දැකීම් පාදක කරගෙන හටගන්නා වූ අනේක විද දුක් දොම්නස් වගේම ප්‍රහර්ශයන් මේ විදියට නිර්මාණාත්මකව පදමාලවක් ලෙසින් කළ එළි බහිනවා.. අපිට නොදැනුනාට අපේ සින්හල ගීත ක්ශේස්ත්‍රය හොඳ සාරවත් වගේම රසවත් එකක්.. ඉතින් මේ බ්ලොග් පිටුවේ මූලික අරමුණ වෙන්නෙ විචාරයක් සමගින් පදරචකයන්ගෙ අනේකවිද ගීතයන්ට වස්තු බීජ වෙච්ච ඒ ඇතුලාන්තය ගවේශණය සහ ඇගයීම.. ගීත වලට හේතු වුන පසුබිම් කතා වගේම එමගින් හුවා දක්වන ගැඹුරු සමාජ විග්‍රහයන් මේ බ්ලොග් පිටුවෙ සටහන් වෙනෙවා ඇති..


අන්තිමට මම මෙහෙම දෙයක් කියන්නම් ඇරඹුමේ අවසානයට පෙර.. කවීත්වය කියන එක හැමෝටම පිහිටන්නෙ නැහැ... සින්හල ගීතාවලියට පදමාල සපයපු අපේ ගේය පදරචකයන් ඇත්තෙන්ම විශිෂ්ටයි... ඒ සියලු පදරචකයන්ට මේ සද්කර්තව්‍යය උපහාරයක්ම වේවා..!
Google+