Saturday, March 8, 2014

විඳින්න මොහොතකට.. 'පරිනිර්වාණ මංගල්‍යය'..!!!

රස්සාව පටන් ගන්නා තුරු ලැබුන දීර්ඝ නිවාඩුවේ අන්තර්ජාලයේ 'විඳින්නට' සුදුසු යමක් සොය සොයා කුසීතව, නමුත් ඉමහත් පිපාසාවකින් යුක්තව රස්තියාදුවෙද්දි අහම්බෙන් වගේ හම්බ වුනු මෙන්න මේ අමා පැන් පොද බෙදා හදාගන්නට හිතුනා කලාකාමී, කලාවට හිතැති, කලාවට ආදරේ කරන හොඳ 'රහක්' තියෙන පිරිසක් යැයි මම විශ්වාස කරන මගේ මිතුරු කැල හෙවත් 'උඹලත්' එක්ක.. :)

වැඩි අටුවා ටීකා කියන්න යන්නෙ නැහැ.. අද කියන්න යන්නේ 'පරිනිර්වාණ මංගල්‍යය' ගැන.. ප්‍රේමසිරි කේමදාසයන්ගෙ 'පරිනිර්වාණ මංගල්‍යය' ගැන.. මේක කැන්ටාටාවක්..  දන්නවනෙ ඉතින් සම්භාව්‍යය බටහිර සංගීතයේ කැන්ටාටා , ඔපෙරා, ඔරටෝරියෝ, සොනාටා වගේ ගොඩක් සංගීත විදික්‍රම තියෙනවා.. ඕවාගෙන් කැන්ටාටාවක වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම සමූහ ගායනාවක් ආගමික කාරණාවක් හෝ කතාවක් පසුබිම් වුනු.., ඒ වගෙම සුලු වශයෙන් රංඟනයක් තියෙන්න පුලුවන්.. හැබයි ප්‍රමුඛත්වය ගායනාවට සහ සංගීතයට..
ශ්‍රී ලංකාවෙ සංගීතයත් එක්ක ඔය කියන ඔපෙරා , කැන්ටාටා ශෛලීන් මුසු කරන්න වෙන කිසිම සංගීතඥයෙක් උත්සහකරේ නැහැ කේමදාසයන් ඇරෙන්න.. ඉතින් මේ කැන්ටාටාවට පසුබිම් වෙන්න බුදුන් වහන්සේගෙ පරිනිර්වාණය.. මේක ආසන්න වශයෙන් පැය බාගයක කාලයක් පුරාවට වාදනය වෙනවා.. මේකෙ එන සංගීතය වගෙම වචනත් හරිම වැදගත් කියලයි මට පුද්ගලිකව හිතුනෙ..



පන්සාලිස් අවුරුදු මුණි රජිඳුන් වැඩහිඳ
චුන්දය දන් දුන් බොජුනෙන් රෝගීවී
ගන්ගා තිර වැටෙනා මෙන් නොම සෝකෙන්
එමු හුණ
සන්සාරෙ මින් පෙර මෙන් මරුවා හැමු සා හිඳ...

එතැන් බලෙන් තෙමසක් ගිය තැන් දැන..
නිවන් සුවෙන් සමවත් මුනි අරගෙන..
ඉදින් පිරිනිවන් පානෙම් සිදු මැන..
එයින් දෙරණ කම්පාවිය අපමණ..!!!

ලෙසින් පටන් ගන්න කතාව පුරා අඩ හෝරාවක් තිස්සේ ඇදී යනවා..මෙන්න මේ විදියට..



ගායනය ගැන මොහොතකට කතා කලොත් මේක බටහිර සමූහ ගායනා කරම ශිල්පයක් වන සිව් වැදැරුම් හඬ පරාසයන් ඔස්සේ ගායනා කරන්නක්.. ඒකියන්නෙ ඇල්ටො, ටෙනර්, සොප්‍රානො, බේස් යන හඬ පරාසයන් සහිත කන්ඩායම් වෙන වෙනම, නමුත් සමාන්තරව ගායනයෙ යෙදෙනවා.. ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ හාමොනයිසිං ක්‍රමශිල්පය තීව්‍ර රහක් විදියට ඉස්මතු වෙන එක..ඇත්ත ඔය ගොඩක් ක්‍රමවේද බටහිරට ආවේණිගත වෙච්ච බටහිර උරුවක් ධ්වනිත කරන දේවල් තමයි... ඒ නිසාම සමහරු චෝදනා කරනවා මේ වගේ බෞද්ධ කතාවක් කියන්න මේ විදියේ බටහිර සංගීත පසුබිමක් සහ ඔපෙරාබරිත ගායනයක් ගැලපෙන්නෙ නෑ කියලා.. ඇතැම් උදවිය කෙලින්ම කියල තිබ්බ මේක ඇහුවම ඇතිවෙන්නෙ පල්ලියේ ගීතිකාවක මනෝරූපයක් කියල..

හැබැයි මට නම් හිතෙන්නෙ කේමදාසයන් ඒක ලංකාවට සහ බෞද්ධ සංස්කෘතියට ගලපන්න උත්සහයක් දරලා තියෙනවා..

බටහිර සංගීතයේ ප්‍රබලව භාවිතා කෙරෙන චෙලෝ එක හරහා බටහිර සංගීතයට නෑකම් කියන රසයක්, හැඟීමක් ගේන අතරම විටින් විට තබ්ලාවත් තම්මැට්ටමත් යොදා ගනිමින් පිලිවෙලින් ඊට ඉන්දියානු සහ සිංහල නාදරටා වල ගුණත් එකතු කරනවා... විටෙක සිතාරයත් බටනලාවත් යොදාගනිමින් සංගීත පෙලහර මෙහෙයවන මාස්ටර් විටෙක තාලය සඳහා යොදාගන්නෙ ගජමන් නෝනාගෙ 'දෙනිපිටිය නුග රුකෙ' පැදි පෙළේ තාලය.. ඒක ගොඩක්ම සිංහල ජන සංගීතය මත පදනම් වෙලාඅ හැදිච්ච තාලයක්..ඒ වගේම අමතක කරන්න එපා ගායනයේදී පවා අවශ්‍යය වෙලාවල් වලදි සිංහල ගැමි ජන ගී වල ආරට, තාලයට ගායනයේ යෙදෙන්න මේ ගායනා කණ්ඩායම පසුබට වෙන්නෙ නැහැ..

අහද්දි තේරේවි ගායන කණ්ඩායමේ නිපුණත්වය කොහොමද කියලා.. :)

මාලනී බුලත්සිංහල,ඉන්දිකා උපමාලි, අයිවෝ ඩෙනිස්, අමරසිරි පීරිස්, නදීක ගුරුගේ, සමන්ත පෙරේරා, හර්ෂ බුලත්සිංහල වගේ උදවියගෙන් සමන්විත වෙච්චි ගායක කණ්ඩායමක් ගැන මොකට වෙන කතාද ඇහුවලු :)  කණ්ඩායම එහෙම වෙලත් අවුරුදු 3ක් තිස්සෙ පුහුණුවීම් සහ විවිදාකාරයේ වෙනස් කිරීම් පලමු සජීවි ප්‍රදර්ශනයට පෙර..!!!

මේකෙ වචන ටික ගැන පොඩ්ඩක් කිව්වොත් මූලික පැදිපෙල සේදරමන් මහත්මයාගෙ බලි සිරිත පොතෙන් අරගෙන පස්සෙ දයානන්ද ගුණවර්ධනයන් සහ ලූෂන් බුලත්සිංහලයන් අතිනුත් පසු කාලීනව වෙනස් වුනාය කියනවා..කොහොම උනත් අවසාන වශයෙන් කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නෙ ලංකාවෙ කැන්ටාටාව වගේම ලංකාවෙ ඔපෙරාවත් කේමදාසත් එක්කම ඉපදිලා කේමදාසයන් එක්කම මියගිය 
බවක් තමයි.. කොච්චර බටහිර ආරක් තිබ්බත් කොච්චර බටහිර නාදරටා මුසු වෙලා තිබ්බත් මේ වගේ සංගීතමය අත්හදා බැලීම් ඒ ඔස්සේ දිගින් දිගටම සිද්ද උනා නම්, ඒවා අගය කිරීමකට ධෛර්‍යමත් කිරීමකට ලක් වුනා නම් අද වෙනකොට අපේම අනන්‍යතාවක් සහිත කැන්ටාටාවක් හෝ ඔපෙරාවක් බිහිවෙන්නත් තිබ්බා.. එහෙම උනානම් අද වෙනකොට මීට වඩා ලස්සන කලාවක් වගෙම මිනිස්සු ටිකකුත් අපිට උරුම 
වෙන්න තිබ්බ කියලත් හිතෙනවා.. 

කොහොම උනත් අනේකවිද වැඩ අතරෙ හරි මේ ලිපිය කියෙව්ව නම් ගොඩක්ම ස්තූතියි... හැබැයි ඒ විදියට මේ "පරිනිර්වාණ මංගල්‍යය" නම් රස විඳින්න යන්න එපා.. :) හොඳට විවෙක බුද්ධිය ඇතුව ඉන්න වෙලාවක ශබ්දය වගේම තේරුමත් ඉමහත් කෑදරකමකින් ඩැහැ ගන්න සැකසුනු මනසකින් යුක්තව මේක අහන්න.. දැනේවි අමුතුම රසයක්.. විශ්වාස කරන්න.,  ඒ වෙනුවෙන් වෙන් කරන පැය බාගය අපතෙ යන්නෙ නෑ..!!!
Google+