Sunday, December 16, 2012

නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ...!



හිතන්න කතා කරන්න අප්‍රමාණ වූ තරමක් වස්තු බීජ සපයන තවත් විෂිශ්ට ගේය පදරචනයක් හිතේ තියාගෙන අදත් මම මගේ බ්ලොග් පිටුවෙ සටහන් වෙන දෙවන ලිපිය අරඹනවා මෙන්න මේ විදියට... :) ‍

යොවුන් ප්‍රේමය කළා ලෝකයේ නිර්මාණ බිහිවීමේ ලා කරඇති දායකත්වය කොතරම්ද, ඒසාම දායකත්වයක් සපයන තවත්මහඟූ දායාදයක් තමයි මාතෘත්වය කියන්නේ. මවකගෙ සෙනෙහස ගේය පදරචනාවන්ට, සාහිත්‍ය කෘති සහ වෙනත් කළා නිර්මාණයන්ට නැගුනු අවස්ථාත් බොහෝමයි...

තමන්ගෙ දරුවා මෙලොව බිහිකල දවසෙ ඉඳලා අනේකවිද කැපකිරීම් කරන උදාර චරිතයක් විදියට තමයි "අම්මව" අපි දකින්නේ. අම්මා කෙනෙක් විසින් තම දරුවට දක්වන ආදරයට, සෙනෙහසට සීමා මායිම් නැහැ, කාල පරාස නැහැ. ඒක බොහොම අකාලික, පිරිසිඳු, කොන්දෙසි විරහිත සෙනෙහසක්. ලෝකයම තමාට එරෙහිව තමන්ව ප්‍රතික්ශේප කරපු දවසටත් ඇගේම ලෙයින් මසින් හැදුනු, කිරෙන් පෝෂණය වුන තම දරුවා වෙනුවෙන් අම්ම ඉඳීවි ඔබ ලඟින්ම. ඒක අදටත් එහෙමයි. ඉස්සරත් උනේ එහෙමයි කියල ඉතිහාසය සාක්ෂි දරනවා. තමන්ගෙ පැටියගෙ ප්‍රාණ අයිතිය වෙනුවෙන් ලේ, දහඩිය හෙලපු අම්මාවරු ඉතිහාසයේ දුළබ නැහැ. මනුෂ්‍ය ලෝකයේ ඉඳලා සිවුපා ලෝකයටම මවකගෙ ගුණ සුවඳ පැතිරිලා යන්නෙ එහෙමයි....

එහෙව් වූ සෙනෙහසක් එහෙව් වූ ආදරයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.  මව් සෙනෙහස ගැන ලියවෙච්ච ගීත බැලුවම ඒවා අකාර කීපයකට බෙදිල යනවා. සමහර ගීත ඉතාම සන්වේදී විදියට මවකගෙ සෙනෙහස හා ඇගෙ ගුණ සුවඳ විස්තර කරනවා. තවත් සමහර ගීත වලින් මව්ගුණ කියවෙන්නෙ කිසියම් වරදකාරි බවක් මුසු වෙච්ච පාපොච්චාරණයක් එක්ක. ඒ තුල ප්‍රහර්ශයකට වඩා දුක වැඩියි. ඔන්න ඔය දෙවෙනියට සඳහන් වුනු විදියෙ ගීතයක් තමයි අද මම තෝරගත්තේ. ඉතින් තවත්  අටුවා ටීකා මොකටද ඇහුවලු...!

ගීතය තමයි "දවසක් පැළ නැති හේනේ". ගේය පදරචනය රන්බණ්ඩා සෙනෙවිරත්න, සන්ගීතය සහ සුගායනය විශාරද ගුණදාස කපුගේ..!

ඇත්තටම මේ "දවසක් පැළ නැති හේනේ" ගීතය තෝරාගැනීමට හේතු වෙන්නෙ මේ ගීතය කරුණු කාරණා ගනනාවකට විෂය වෙන එමෙන්ම වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කළ හැකි ගීතයක් වීමයි.. කොටින්ම එක ලිපියකින් මේ සම්බන්ධයෙන් කතා කරල ඉවරයක් කරන්නපුළුවන්ද කියන එක අභියෝගයක්. මේ ගීතය හා සඹැඳිව පවතින පසුබිම් කතාවක් හොයාගන්න මම සමත් වෙන්නෙ නැහැ. හැබැයි මේ ගීතය හරහා හිතන්න ලබාදෙන අවකාශය බොහෝමයි.

දවසක් පැළ නැති හේනේ අකාල මහ වැහි වැස්සා
තුරුළේ හන්හා ගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ...

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇළේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ...


කොළඹ අහස කළු කරගෙන  මුහුදු හුළඟ අඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ...


ගීතය මෙතනින්


ජීවිතය ඔහුට වැරදී ඇත. කීර්තිය යසස සොයාගිය ගමනේ තමන්ට වැරදුන තැනකදී සිදුකරන අතීතාවලෝකනයකින් ආරම්භය සිදුවේ. ජීවිතයේ මොන බාධක දුක් කම්කටොලු ආවත් අපව හැර නොයන සදාතනික වෘක්ෂය අම්මාය. මතකය ඇසුරෙන් අවදිකරන කවිසිත පැල නැති හේනක මහ වැහි වහිද්දී අම්මා ලබා දුන් තුරුලක උණුසුම පාදක කරගනිමින් රචනයේ යෙදෙයි. වැස්ස අකාල වැස්සකි. අකාල වැස්සට පෙර සූදානමක් නැත. එවැනි වූ අකාල වැස්සකින් වුව තම දරුවා වෙනුවෙන් කලයුතු යුතුකමක් වේද, හිඳිය යුතු පියවරක් වේද ඒ සිදුකරන්නෙ අම්මාය.. 

රත්න ශ්‍රී විජේසින්හයන්ට අනුව  කතානයකයාගේ  පියා මියගොසිනි. පැල නැති හේන යනු එයයි. තරුණ කතක් කුඩාදරුවන් සමඟ වැන්දඹු වූ කල දෙවන කසාදයකට යෑම සාමන්‍ය සිරිතයි. දරිද්‍රතාව, සහ රැකවරණය මත ඊට එරෙහි වීමද සාධාරණ නොවේ. එහෙත් දෙවන කසාදයකට ගිය පසු කුඩා දරුවනට විඳින්ට වන දුක් ගැහැටද අනේක අප්‍රමාණය. දරුවා වෙනුවෙන් කල යුතු කැපකිරීම කවරේද ඈ එය ඉටු කරයි. ඈ නැවත විවාහ ගිවිස නොගනී. 

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝද ඇළේ නැම්මේ

වැස්සක් වහින්නේ සියලුදේ තෙත බරිත කරගෙන. මේ කතානායකයා තෙමෙන්නේ නින්දා වැස්සකින්. ඒ වහින වැස්සෙන් නුවර වීදි යට වෙනවා. ඉතින් තවදුරටත් ඔහුට නුවර හිමි වරප්‍රාසද, තත්වය හෝ වටිනාකම හිමි නැහැ. ඔහුට අහිමි වෙන්නෙ හුදු භෞතික වටිනාකම් විතරක් නෙමෙයි. තම ආදරණීය බිරිඳගෙ සෙනෙහසත් නින්දා වැස්සේම සේදී යනවා. ඇත්තටම ජීවිතේ බින්ඳුවට වැටිච්ච වෙලාවක තමයි මේ රචනය සිද්ද වෙන්නේ. ඒක යොදාගෙන තියෙන උපමා රූපක භාවිතයෙනුත් මොනවට ඔප්පු වෙනවා..

ඒ ඔක්කොමත් හරි.! එතකොට පොලොන්නරුවෙ කළා වැවේ ඉඳලා අනුරාධපුරේ තිසා වැවට වතුර ගෙනියන ක්‍රි.ව. පස්වන සියවසේ ධාතුසේන රජතුමා අතින් නිමවුනයි කියන යෝධ ඇළ කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ?? අවන්කවම කිව්වොත් මේ කාරණය මම දැනගෙන හිටපු දෙයක් නම් නෙමෙයි... මගේ යාලුවෙක් මට කියපු විදියට කාරණය මේකයි...

යෝධ ඇළ කියන්නෙ හෙළ වාරි තාකෂණයේ අද්විතීය නිමවුමක්. ඒකේ තියෙන සුවිශේෂී ගුණය තමයි හැතපුමකට අඟල් හයක් වෙච්ච බැස්ම. ඒ බැස්මෙ වතුර ඉතා සීරුවට ගලායනවා. හැබයි බස්මත් නොදැනෙන සුළුයි. නින්දා, අවලාද හමුවේ බිරිඳගෙ සෙනෙහස නැතුවගියේ යම්සේද යොද ඇලෙ බැස්ම වාගෙ කියන අර්ථය ඇතුව ඔය කියන උපමාව භාවිතා වුනාය කියන එක තමයි අදහස. ඇත්තටම රචකයා ඒ වචන ටික යෙදුවෙ ඔය අදහස හිතේ තියාගෙන නම් පොඩ්ඩකට හිතල බලන්න ඔහු කොයිතරම් බුද්ධිමත් විදියට තම උපමා භවිතය සිදුකරලා තියෙනවද කියලා. හැබැයි මට නිකමට හිතුනා ඕකේ පොඩි පරහක් තියෙනවා..!

ඒ තමයි "නැම්ම" සහ "බැස්ම" අතර වෙනස. ඇළක නැම්ම කියන්නෙ වතුර පාර හැරිල යන වන්ගුවක් වගේ තැනක්... ඒක බැස්මට සමාන වෙන්නෙ නැහැ. ඔය ඔස්සේ පොඩ්ඩක් හොයලා බලනකොට තමයි මම දැනගන්නේ යෝධ ඇළේ බැස්මට විතරක් නෙමෙයි එකේ තියෙන නැම්මටත් සුවිශේෂී ගුණ දක්වනවාය කියලා. යෝධ ඇළේ තියෙන්න බොහෝඅ දුරට 'අක්-වක්' (Zig-zag) ගමන් මාර්‍ගයක්.  කොයි පැත්තට හැරෙයිද කියල විනිශ්චයක් දෙන්න අමාරුයි. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. හරියට නිකන් මඩේ හිටවපු ඉන්න වගේ. දැන් ඔන්න ඔයගුණය බිරිඳගෙ සෙනෙහස තුළ  ඔහු දකින්නෙ නින්දා අවලාද වලට මැදි වෙද්දී. මවගේ සෙනෙහස නොසෙල්වෙන මහා වෘක්ශයක් වෙද්දි බිරිඳගෙ සෙනෙහසෙ තියෙන සචල බව  නිරූපණය කරන්න රන්බණඩා සෙනෙවිරත්නයන් මේ යෝධ ඇලේ නැම්ම කියන උපමාව යොදාගත්ත බවට මගේ හිත කියනවා. මම එහෙම කියන්නෙ "හිත් පිත් නැති නුඹේ හිතත් දහ අට වන්ඟුව වාගේ" වගෙ උපමාවන් මෑත කාලීන රචනාවලින් තරුණියකගෙ හිතේ තියෙන අස්ථාවර බව නිරූපණය කරන්න යොදාගන්න නිසා. කොටින්ම දහ අට වන්ඟුවේ ගමනත්, යෝධ ඇළේ නැම්මත් කියන්නෙ එකම කතාවක්...

කොළඹ අහස කලු කරගෙන වහින්න සැරසෙද්දි, ඒ නින්දා වැස්සෙන් ඔහුට ගැලවුම හිමි වෙන්න අම්මගෙ සෙනෙහස යටතෙ විතරයි. ගොඩනගාගත් සියළු දේ නැතිවෙද්දි ඒ පිළිබඳ තවත් අනතුරු ඇඟ වෙද්දී අම්මගෙ තුරුලට නැවත දුවගෙන එන්නද කියල රචකයා විමසන විදිය හරිම සන්වේදනීයයි. එහි භාවනීය රසයන් උපරිමයකට පත් කරමින්ම ඊටම ඔබින විදියට ගුනදාස කපුගේ සන්ගීතවේදියානන් ඉහල ස්වර කණ්ඩයකට පිවිසෙමින් ගීතය නිමා කරන ආකාරයත් විශිෂ්ටයි. රණ්බන්ඩා සෙනෙවිරත්නයන් කියන්නේ සින්හල ගීත සාහිත්‍යට විශිෂ්ට පදමාලා සම්පාදනයේ යෙදුනු තවත් සොඳුරු මිනිසෙක්. පරිණත පුද්ගලයෙකු තමන් මවගෙ සෙනෙහස සන්වේදනය කරන ආකාරය මෙකෙන් මනාව ඉස්මතු කරනවා. විශෙෂයෙන්ම ඔහු මෙතනදි මව සහ බිරිඳකගේ සෙනෙහස සන්සන්දනයේ යෙදීමත් විශෙෂ දෙයක්...

කාලයක් පුරාවට ජීවිතේ තමන් සමීපව ආස්‍රයකරන ගනුදෙනු කරන එකම ගැහණිය අම්ම වන පුද්ගලයෙකුට වෙනත් තරුණියකගෙ ආදරය හිමිවීම සුවිශේශී කාරණාවක්. සමහර වෙලාවට මව ඊට දක්වන විරෝධයට සාධාරණ හේතු තියෙනවා. මවගෙ සෙනෙහස සහ බිරිඳගෙ ප්‍රේමය අතරට මැදිවන පුද්ගලයා අපේ බොහෝ ගීතවලට, නිර්මාණ වලට හේතු පාදක වෙලා තියෙනවා. හොඳම නිදර්ශණයක් තමයි "ඔබගෙ අම්මද නැත්තන්, ඔබගෙ බිරිඳද" ගීතය. මේ ගීතය හරහාත් එවැනි කරුණු දැක්වීමක් කරනවාය කියන එකයි මඟේ හැඟීම. 

හැබයි මේ සින්ඳුව ගැන මට ලියන්න හිතෙන්නෙ මේ ගීතයට පශ්චාත් නූතන වාදීන් ලබා දෙන තවත් අර්ථකතනයක් නිසා. ඊට කලින් මේකත් කියන්න ඕන. ගීතයකට අර්තකතන ලබදීම පුද්ගලානුබද්ධ කාරණාවක්. තමන් දකින විදියට තමන් හිතෙන විදියට එ ගීතයේ අර්ථය රස විඳීමට ඕන කෙනෙක්ට අයිතිය තියෙනෙවා. ඒත් මම හිතන විදියට සහ මට දැනෙන විදියට ගීතයක සෘජුවම කියාපන කාරණාවන්ට හාත් පසින්ම වෙනස් අර්තකතන ලබාදීම යම් කිසිවිදියක සාපරාධයක්...

පශ්චාත් නූතන වාදීන් මිනිසාගෙ ලින්ඟික නිදහස සහ අයිතීන් ගැන ගොඩක් කතා කරනවා. අශෝක හඳගමයන් දකින විදියට මේ ගීතය පුතාගෙ සිත තුල මව කෙරෙහි ඇතිවන ලින්ඟික හැඟීමක් විස්තර කරනවා. ඒක සාමන්‍ය බැඳීමක් නෙමෙයි. "මව් සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ" කියන පද පේලිය ඔවුන් අර්ථදක්වන්නේ බිරිඳගෙ සෙනෙහස නින්දා ඝැරහුම් නිසා නොලැබී යද්දී අම්මා තුලින් ඒ පහස ලැබීමට පුතකුගේ සිත තුල උපදින පාපිෂ්ඨ සිතිවිල්ලක් විදියට...!

මම මේ කාරණාව මේකෙ ලිව්වේ ඒක අනුමත කරන නිසාවත්, ඒ මතය සමාජගත කිරීමට ඕන නිසාවත් නෙමෙයි...! මේ විදියෙ ගීතයක් දිහා උනත් පශ්චාත් නූතනත්වය බලන කෝණය මෙන්න මේකයි කියල පෙන්නන්න...! නැවත හමුවන බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්.. :)

7 comments:

  1. බොහෝම සුන්දර වැඩක්... දිගටම කරගෙන යන්න.. ජය වේවා...!

    ReplyDelete
  2. සිංදු අපි ඇහුවට කොල්ලෝ අපි එකේ අදහස එච්චර හිතන්නෙ පුරුදු වුනේ නෑ. ඒක නිසා උඹ මෙහි ගැඹුරු අදහස අපිට තේරෙන විදියට ලියපු එක ගැන මචං අපේ භාෂාවෙන් කියනවනම් එල.

    ReplyDelete
  3. මට හිතුණ විදිහට නම් දුප්පත් අම්මාව අතහැර ගිය පුතෙකු, තමා ගොඩනගාගත් සියල්ල කඩාවැටුණු මොහොතේ, ඒ වන විටත් මෙලොව අතහැර ගොස් සිටින තම මවගේ සෙනෙහස ඉල්ලා හඩා වැටෙන කතා පුවතක් මෙම ගීතයෙන් දිගහැරෙනවා.

    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ... කොටසින් එම අදහස් දෙකම කියවෙනවා කියල තමයි මගෙ අදහස.

    මෙම ගීයට හදගම මහත්තයා එවැනි අර්ථදැක්වීමක් කර ඇත්නම්, එය මම බැහැර කරමි.

    විරහ ගීයකින් මව් ගුණ ගීයක්. ඊළගට මොක්කද ?

    (ගීතයේ වචන වල පොඩි අඩුවක් තියනවා. ඒක නිවැරදි කරන්න.)

    ReplyDelete
  4. දුලන්ජ සුබෝධන, ජීවන් චතුරංග සහ ගමගේ.., තුන්දෙනාටම බොහෝමත්ම ස්තූතියි...!

    දොන් ගමගේ වෙත : අද රෑ මැදියමට පෙර ඔබගේ ගැටලුවට පිළිතුර ලබා දෙනු රිසිමි...! තව එකක් සහෝදරයා, මේකේ සාකච්ඡාවට ගැනෙන්නේ විරහවම පමණක් නෙමෙයි... මොකද කියනව නම් සිංහල ගීතාවලිය විරහවට පමණක් ලඝු කල නොහැකි නිසා... එනිසාම නව නළු රසයන් ගෙන් අනූන ඕනෑම ගීයක් මේ තුල කතිකාවන්ට ලක්වෙනු ඇත... සරළවම කිව්වොත් බොදුගුණ ගීත, මව්ගුණ පියගුණ ගීත, ජාත්‍යාලය සහ දේශාභිමානය දනවන ගීත, මානව ප්‍රේමය, විරහව, ශෘංඟාරය සහ විප්‍රලම්භ ශෘංඟාරය කැටි කොටගත් ගීත ආදී වූ අනේක විද ගීතයන්ට මේ බ්ලොග් පිටුව තුල ඉඩහසර විවෘත කිරීම මාගේ අරමුණයි...!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මට මේ දාපු ලිපි දෙක සම්බන්ධයෙන් මගේ මිත්‍රයෙක් එවල තිබ්බ (ඊමේල් කරල තිබ්බ ) ලිපියක කොටසක් පල කරන්න හිතුනා... පල කරන්න එපාම කියල කිව්වත් මට ඒ ලිපියේ කොටසක් පල කරන්න වෙනවා ඒ හරහා කතා කලයුතුයයි හැඟ වෙන දෙයක් තියෙන නිසා...! මෙන්න මෙහෙම දෙයක් ඒකේ කියවෙනෙවා...

    "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ
    ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එන තුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ

    යන පද තමයි සීරුවෙන් ගීයෙන් ප්‍රකාශිත භාවයන් සංවේදී උස් මුදුන් කරා ගෙන යන්නේ. අවසන සඳහන් කළ දෙපදෙහි වූ හෘදයාංගම අවසර පැතීම් (සුදෝ සුදු හි “එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා“ ප්‍රස්තුතය වෙනකක් වුවද මෙවන්ම සංවේදී අවසර පැතීමකි. බෝ මළුවේ මල් ... ගීතයේ “එන්න හිතයි නුඹ ළඟට සැණින්“ මෙහි අර්ථය හා තරමක සමානකමක් වන නිසා සිහි වුණා මට) හා ආයාචනාත්මක විමසීම් (යසෝදරාවතෙහි මෙවැනි යෙදුම් බොහෝය) එකී වූ සංවේදීත්වය වඩාත් තීව්‍ර කොට ඇත."

    ඔව්... මේ කියමනත් එක්ක මම එකඟ වෙනවා..! මෑත කාලීනව ලියවුනු සහ වර්තමානයේ ලියවෙන ඇතම් ගීත වලට අපේ පැරණි පද්‍ය සාහිත්‍යයේ ආභාෂය, හුරුව ලැබිලා තියෙනෙවා. ඒ බව දකින්න තරම් ඔබ විමසිලිමත් වීම ඉතාමත් අගෙයි. ඇතැම් උදවිය හිතනව එහෙනම් මේවා කොපි නේද කියල?? ඒක හුදු අමු අමුවේ ඒ වචන සහ අර්ථයම යොදාගෙන කරන අනුකරණයක් හෝ කොපි කිරීමක් නෙමෙයි. එතැනදි වෙන්නෙ පැරණි කවියා නිර්මාණයට යොදාගත් සිතිවිලි ධාරාවට සමාන සිතුවිලි ධාරාවකින් වර්තමාන කවියාගේ කවිසිත අවදිවෙන එකයි..!

    අපේ ඉස්කොලේ ඒ කාලේ උදේට දාන සින්දුවක් තමයි සුනිල් දයානන්දයන් ගෙ "ගමට කලින් හිරු මුලු තැන් ගෙට වඩනා" ගීතය... මේකත් යශෝදරාවතට නෑකම් කියනවා. "වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට, විහඟ ගීත බණ පද වේවා" කියල ඇහෙද්දිම ඒ පදේ නෑකම් කියන්නෙ යශෝදරාවතේ එන

    "කැලේ තියෙන කොයි දේවත් රසවේවා",
    "අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා"
    වගේ පැදි පේලි වලට... කටුකත්වය ඔහුට හෝ ඇයට දැනෙද්දි ඒ කටුකත්වය ඔහුට හෝ ඇයට රසමිහිරක්ම වේවා, දුකක් නොවේවා යන මුඛ්‍යාර්තය තමයි ඒ අවස්ථා දෙකේම ගැබ් වෙලා තියෙන්නේ..!

    ඉතින් ආභාසය කියන්නෙ එක නිර්මාණයක් තවත් නිර්මාණයක් කෙරෙහි ඇති කරන්නාවූ බලපෑම ලෙස සරලව දකින්නත් පුළුවන්... බොහොම මෑත කාලීනව ජනප්‍රිය වුනු මුස්ලිම් ජාතික, සිංහල ගේය පද රචක නිලාර් .එන්. කාසිම් පවා බෞද්ධ පද්‍ය පොත පතේ ආභාෂය ලබා තියෙනෙවා... ඔහු විසින් රචිත ගීතයක එන
    " නූපුර කිංකිණි ජාලා,
    නැළවෙන නර්තන සේමා,
    මිහිබට සුරඹුන් සේමා,
    පිනවන දුටුදන සෑමා" පැදි පෙළ සිහි ගන්වන්නෙ ගුත්තිලයේ එන වර්ණනා...! ඒ අතරෙම අන්තිම පැදි පෙලේ "පිනවන දුටු දන සෑමා" කියමින් දෙනිපිටියේ නුගරුක හරහා රුහුණේ කිවිඳිය ගජමන් නෝනාගෙ කාව්‍ය භවිතාවන්ටත් නෑකම් කියනවා... මේකත් අනුකරණයකට වඩා ආභාෂයක් විදියට මම දකින්නෙ සමස්ථ ගීතය ගත්තම ඒ තුල අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට රචකයා සමත් වෙලා තියෙන නිසා...! මේ අන්තිමට කියපු ගීයේ ගැඹුරු අර්ථයක් නොතිබෙන්න පුළුවන්. ඒත් භාෂා භාවිතය ප්‍රශස්ථ මට්ටමක පවතිනවා.

    මේ ලිපියෙ සඳහන් වෙච්ච තවත් දෙයක් තමයි මේ..!

    "මගේ මතකය නිවැරදි නම්, වරෙක ජයතිලකයන්ගේ පූර්විකාවක දුටුවේ පාඨකයාගේ වින්දන පරාසයන් ගැන ලියූ මෙබන්දකි. ඇතැමෙක් තැඹිලි ගෙඩියේ ‍පැන් කොටස‍ට පමණක් ආශා කෙරෙත්, ඇ‍තැමෙක් එහි මද කෑම‍ට පමණක් ආශා කෙරෙත්, තවෙකෙක් මේ දෙකටම ආශා කෙරෙත් යනුවෙන් ඔහු එහි දෙඩූයේ පූර්විකාව හා අන්තර්ගතය යන කොටස් කියවීමෙහි ලා පාඨකයාගේ ඇති පෙළඹවීම ගැනයි. පැනුත් බී, මදත් කෑ විටයි රහ වැඩි මට හිතෙන්නේ."

    ඔව්.. ඒක ඇත්ත..! ගද්‍ය සම්බන්ධයෙන් ඕක සියයට සියයක්ම හරි වෙන්න ඇති..! මමත් කැමති පැණුත් බී මදත් කන්න තමයි. හැබැයි ඒකට විතරක් නම් නෙමෙයි..! තැඹිලි ගෙඩියක දසුනත් මම උපරිමයෙන් රසවිඳිනවා..! එහි හැඩය සහ පැහැය තුල මතුවන සෞන්දර්‍ය තමයි මම මුලින්ම අත්විඳින්නේ. මොකද කියනවා නම් බොහොම සියුම් නොවැදගත් දේවල් පවා උපරිමයකින් රසවින්දනය කිරීමට කවියො කිවිඳියො මිනිස්සුනව පොලඹවනවා..!

    මම හිතනවා කියන්න අමතක උනත් ඔබත් එහෙම වෙන්න ඇති කියලා... මොකද ඔබ හොඳ කවියෙක්..! ඔබේ කවිකාරකම් ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕන නැහැ දන්න උදවියට.

    "වනස්පතිගේ වතින් ඉහිරෙන දයාවේ නෙත් දියවගේ" කිව්වත් කට්ටිය උඹව දන්නව උඹේ කවි මට සමීප වෙච්ච තරමටම අනිත් උන්ටත් දැනුනා නම්... :)

    ReplyDelete

Google+