Saturday, June 8, 2013

ආලිංගනය අවසන්.. යුක්තානුවට ඉඩ දී..!

               


කටුක වූත් කර්කශ වූත් අධ්‍යාපන කටයුතු සමග ජීවිතය කාර්ර්‍‍යබහුලත්වයෙන් පිරී ඉතිරී යද්දි 'Deadline' බොහෝමයක් අවසානයේ ඉඩක් ලද ඇසිල්ලෙම මගේ සිතුවිලි මම අතිශය ප්‍රිය කරන එමෙන්ම මම බොහොම සුන්දරයි කියල විශ්වාස කරන මගේ 'Passion' එක සොයා ගෙන ඇදෙනව... එහෙම කළා ලෝකයේ රස තැන් හොයාගෙන අන්තර්ජාලයේ රස්තියාදු වෙද්දි මට අහන්න ලැබෙනව මම මීට කාලයකට ඉස්සෙල්ල අහපු ගීතයක්...

මගේ තියෙන ලොකුම දුර්වලතාවයක් විදියට මටම දැනුනු දෙයක් තමයි ජීවිතයේ හමුවෙන සුන්දර දේවල් වගේම සුන්දර පුද්ගලයනුත් තුල පවත්නා වූ සොඳුරු බව අඳුන ගන්න මට කාලයක් යනවා... හදිස්සියේ ඒ කාරණාව කියන්න හිතුනෙ මේ ගීතය සම්බන්ධයෙනුත් මට තියෙන අත්දැකීම ඒ වගේ නිසා... මේ ගීතය කල එලි බහින්නෙ  මීට හයමාසෙකට විතර උඩදි ප්‍රසන්න ජයකොඩි මහත්මයානන්ගෙ 'කර්ම' චිත්‍රපටය සිනමා ගත වෙද්දි...

චිත්‍රපටය තුල සම්පූර්ණ වශයෙන් ගීතය ඇතුලත් නොවුනත් ඒ කාලයේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ආශ්‍රිතව මේ ගීතය අහන්න ලැබුනා... හැබැයි හයමාසෙකට පස්සෙ අද මේ ගීතය අහද්දි එදා නොදැනිච්ච රසයක් එදා නොදැනුණු ගැඹුරක් මට ගීතය තුල දකින්න ලැබුනා.. ඒ නිසාම මේ ගීතය ගැන ලියන්න සිත් වුනා...
ගීතයෙ වචන ටික ගත්තොත් මෙන්න මේ වගේ...


අනුනාද වන දෙහදක
ආලිංඟන අවසානයේ
ශූන්‍ය වී...
සිතිවිලී...

ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තියයි
ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී

අම්ල කර වායුව
සිතුම් අනුරාගය
දකිනු රිසී
දොඩමළුව රිසී
පහස රිසී
චුම්භනය රිසී
ආළිංඟනය අවසන්
යුක්තානුවට ඉඩ දී


බොහෝවිට බොහොම සුන්දර වචන යොදල කවීත්වය වෑහුනු යෙදුම් එක්ක නිම වුනු ගේය පද රචනාවන් ප්‍රස්තුථ කරගන්න ගීයකමතක පොතත්, බොහෝවිට එවැනි පද්‍යමාලාවන් සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කරන මතක පොතේ පාඨක ඔබත් මේ පද මාලව දුටු හැටියෙම "මේකත් ගීතයක්ද? " වගේ දරුණු විවේචනයන්ට සිත් පහල කරගත්තොත් එක පැත්තකින් ඒක සාධාරණයි. විශෙෂයෙන්ම ඔබ මේ ගීතය අහල නැත්තම්..! ඒ නිසා ඒ මනස්තාපයට දිගු ආයුෂ නොදී ගීය අහලම ඉන්න..

video


මේ ගීතය සංගීතවත් වෙන්නෙ නදීක ගුරුගේ නම්වූ තරුණ සංගීත කරුවා අතින්. ගී පද මාලාව වෛද්‍යය ජයරුවන් බන්ඩාර අතින් ලියවෙද්දි ගායනයෙන් දායක වෙන්නෙ නදීක ගුරුගේ සහ නතාෂා රත්නායක. ගීතයේ වචනාර්තයට යන්න කලින් මම හිතනව 'කර්ම' චිත්‍රපටයේ කතා සාරංශය බොහොම කෙටියෙන් දැක්වුවොත් හොඳයි කියලා. එත කොට චිත්‍රපටයේ තේමාවට සහ ඒ ඒ සිද්ධීන් වලට ගීතයේ අනුකූලතාවක් තියෙනවද නැද්ද කියල බලාගන්න පුළුවන්..

කතාව ගොඩනැගෙන්නෙ අමැන්ඩා හෙවත් අමා (මිචෙල් හර්ෆ්ට්) කියන යුරෝපීය පන්නයට හැඩගැහුනු තරුණියක් වටා... ඇය ඇයගේ පෙම්වතා වන නදී (නදීක ගුරුගේ) නම් වූ තරුණ සංගීත කරුවා සමග එක්ව වාසය කරනවා... කතාවෙ තුන්වැන්නා වෙන්නෙ පියල් (ජගත් මනුවර්ණ ) නැමැති ආතක් පාතක් නැති තරුණයෙක්...අමා පියයුරු පිළිකාවකින් පෙලෙන්නියක්...  ඒත් සමගම ඇය නදීට දාව ගැබ් ගන්නවා... එක අතකින් අසම්මතයේ පිහිටන දරු ගැබත් අනෙක් අතට උත්සන්න වන පිළිකාවත් නිසා අන්ත අසරණතාවයකට ලක් වෙන අමාව නදී විසින් හැරයාමත් ඒ ඔස්සේ පියල් ඇගේ පිහිටට ඒමත් චිත්‍රපටය මූලික වශයෙන් ගෙන හැර පානු ලබනවා.

ගීතයට මේ කතාවෙ සම්බන්ධය බැලුවොත් මට හිතෙන්නෙ ගීතය විසින් මේ කතාවේ සංසිද්දීන් දෙකක් පහදා දෙනවා. එකක් තමයි දරු ගැබ විනාශ කිරීමට නදී ගෙන එන යෝජනාව අමා විසින් ප්‍රතික්ෂේප කිරීම. අනික තමයි ආදරය සහ දරුවා පිලිසිඳ ගැනීම සම්බන්දයෙන් නදී දරන මතය හෝ කල්පනාව.

ගීතයේ වචනාර්තය දිහාවට හැරුනොත් මෙන්න මේ වගෙ අදහසකුයි ගම්‍ය වෙන්නෙ.
ගීතයේ මුල් කොටස නදීක ගුරුගේ හඬින් කතාවෙ එන නදී ගෙ අදහස් නියෝජනය කරමින් මේ විදියට ගැයෙනව..

අනුනාද වන දෙහදක
ආලිංඟන අවසානයේ
ශූන්‍ය වී...
සිතිවිලී...


අනුනාදය කියන වචනය අපි විද්‍යාවෙදි අඳුන ගන්නෙ කම්පන සංඛ්‍යාතය සමාන වීම කියන අරුතෙන්, එහෙමත් නැත්තන් කම්පන සංඛ්‍යාතය සමාන වීම නිසාම එකම ආකරයට චලනය වන යන අදහස ඇතුව. මේ ගීතයෙ කියවෙන්නෙ 'අනුනාදය වන දෙහදක්' ගැන. එනම් එකම සිතුම් පැතුම් ධාරාවක් සහිත වූ, සමාන අවශ්‍යතාවන් සහිතවූ දෙහදක් හෙවත් ආදරයෙන් බැඳුනු දෙදෙනෙක් ගැන...

එහෙම බැඳුනු දෙදෙනෙක් ගෙ "ආලිංගනය අවසානයේ සිතුවිලි ශූන්‍ය" වන බව ඊට පස්සෙ එන වචන වලින් පැවසෙනවා.. ආලිංඟනය කියන්නෙ වැළඳ ගැනීම.. ගීතයේ ඒ 'ආලිංඟනය' යන වචනය නිරූපනය කරන්නෙ ගැහැණියක් සහ පිරිමියෙක් එක්ව ලබන්නාවූ කායික සම්බෝගය.. එම සම්බෝගය අවසන සිතුවිලි ශූන්‍ය වන බවකුත් කියනවා.. එහෙම සම්බෝගයකට පස්සෙ එකිනෙකා කෙරෙහි වන්නාවූ සිතිවිලි ශූන්‍ය වෙනවා නම් ඔවුන් අතරෙ පැවතියේ සැබෑ ආදරයක්ද කියන එකයි ප්‍රශ්නය. ඒ තර්කය ඔස්සේ බැලුවම ඔව්න් අතරෙ තියෙන්නෙ ආදරයක් නෙමෙයි..  දෙදෙනෙකුගෙ එකඟතාවන් මත තම රාගික හැඟීම් සංතෘප්ත කරගැනීමට ඇති කරගත්තාවූ සම්බන්දයක්.. ඉතින් මේ කියවෙන්නෙ මොකද්ද? මේ කියවෙන්නෙ ලිවින්ටුගෙදර් සංස්කෘතියේ ඇතුලාන්තය.. නදී ගීතය ආරම්භයේදි මෙලෙස කියාපාන්නෙ ඔවුන් අතර වූයේ ආදරයක් නොවන් බවත් හුදු රාගික අවශ්‍යතාවන් මත ඇතිවුනු සම්බන්දයක් පමණක්  බවත්...

ජීවානුවේ ජීවයේ 
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තියයි
ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී


ජීවනුවේ ජීවයත්, රුධිරය සහිතවූ කළල බන්ධයත් ආදරයේ ශේෂයන් ලෙස රචකය දකිනවා. ජීවානුව යන්නෙන් රචකයා අදහස් කරන්නෙ ජීවි අණුව යන්නයි. කළල බන්ධය කියන්නෙ මව සහ කළලය සම්බන්ධ කෙරෙන්නාවූ ප්‍රධාන ශාරීරික බැඳීම. කළලයට අවශ්‍යය වන සියළු පෝෂණ කොටස් මව මගින් ලබා දෙන්නෙ කළල බන්ධය හරහා.. ඉතින් ජීවි අණුවේ ජීවයත් ඊට පෝෂණය සපයන කළල බන්ධය හරහා සිදු කෙරෙන රුධිරමය බැඳීමත් රචකයා දකින්නේ ආදරයේ ශේෂයන් ලෙස...

මව ඒ විදියට තම කළලයට පෝෂණය සපයන්නේ හිරුගෙන් ලැබෙන ශක්තීන් කළලය වෙත සම්ප්‍රේශණය කරමින්.. ඒක එහෙම වෙන්නෙ ජීවයේ පැවත්ම හිරුගේ ශක්තියමත රඳා පවතින බැවින්.. තවත් විදියකට කිව්වොත් එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට ජීවය ලබාදීම එම පරම්පරාව තමන් හිරුගෙන් ලද ශක්තිය නව ජීවයකට සම්ප්‍රේශණය කිරීමක් කියලත් හඳුන්වන්නත් පුලුවන්... 

ඉතින් එලෙස සිදු කෙරෙන ශක්ති සම්ප්‍රේශණය නව ජීවාණුවකට හෙවත් යුක්තාණුවකට ජනිත වීමට අවස්ථාව සපයනවා... "ආදරයේ ශේෂය.. හිරුගෙන් ගෙනා ශක්තියයි.., ජීවාණුවට ඉඩ දී.., ‍යුක්තාණුවට ඉඩ දී.. " කියල රචකයා අදහස් කරන්නෙ ඒකම තමයි. මේ ගීතයේ යුක්තාණුව කියන්නේ ජීව විද්‍යාවෙදි අපි අඳුන ගන්න, සංසේචිත (එක්වුනු ) ඩිම්භය සහ ශුක්‍රානුව හෙවත් කළලයේ මූලික අවස්ථාවම තමයි. ආදරයේ ශේෂයන් ඔස්සේ ගැහැනියක සහ පිරිමියකු අතර හට ගන්න කායික සබඳතාවක් ජීවයට මුල පාදන අයුරු විග්‍රහ කෙරෙන විද්‍යාත්මක පසු බිම රචකයා තම ගේය පද රචනයට කැටිකරගත්තු විදිය කොයිතරම් නම් අපූර්වත්වයක් ජනිත කරනවද..?

මෙහිදී "ජීවාණුවට 'ඉඩ දී', යුක්තාණුවට 'ඉඩ දී' "  යන්න චිත්‍රපට කතාවෙදි කළලය විනාශ කරන්නට නදී ගෙනෙන යෝජනාව අමා විසින් ප්‍රතික්ශේප කිරීම විද්‍යමාන කරනවා වෙන්නත් පුලුවන්.. මොකද ගීයේ මේ කොටස ගැයෙන්නෙ අමා ගෙ සිතුවිලි නියෝජනයක යෙදෙනවා යයි මට සිතෙන නතාෂා රත්නායකයින් අතින් නිසා.

ඒත් එක්කම අපි පිවිසෙන්නෙ ගීතයේ අන්තිම කොටසට. මේ ගීතය අහුවොත් තේරේවි නතාෂා රත්නායකයන්ගෙ ඔපෙරා බරිත හඬින් ගැයෙන ගීයෙ මැදි කොටස  අවසානයේ එක වරම සන්ගීතය රොක් ශෛලියකට මාරුවෙමින් නදී තම අදහස් බොහොම ප්‍රභල වගේම තීව්‍ර අකාරයකට නදීක ගුරුගේ හඬින් මුදාලන අවස්තාවක්ය මේක කියල..

අම්ල කර වායුව
සිතුම් අනුරාගය
දකිනු රිසී
දොඩමළුව රිසී
පහස රිසී
චුම්භනය රිසී
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී


අම්ල කර වායුව සිතුම් ධාරාවක් එක්ක සම්බන්ධ වෙන විදිය නම් මට හිතා ගන්න බැහැ. ඒ කොහොම උනත් රචකයා මෙහිදී අදහස් කරන්නෙ අනුරාගී සිතුවිලි ධාරවක් කියන එක නම් විශ්වාසයි. ඉතින් එවන් වූ සිතුම් අනුරාගයක් මග පාදන්නෙ මොනවටද? රචකයා කියන විදියට රාගය ඔස්සේ දැකීමේ අවශ්‍යතාවත්, කතා බහක අවැසි බවත්, පහස විඳීමේ උවමනාවත්, අවසාන වශයෙන් චුම්බනයේ හෙවත් සිප ගැනීමේ ඕනෑ කමත් ඇති වෙනවා. "සිතුම් අනුරාගය, දකිනු රිසී, දොඩමළුව රිසී, පහස රිසී, චුම්භනය රිසී" කියන යෙදුම වලින් අදහස් වෙන්නෙ ඒකයි. කෙනෙක් කෙරෙහි රාගයෙන් බැඳෙන මිනිස් මනස තුල හටගන්න මූලික අවශ්‍යතාවන් රචකය සටහන් කරන්නෙ ඒ විදියට...

ඉතින් මේ සියල්ල අවසානයේ රාගයේ පෙලහර අවසන් වෙනවා.එහෙම අවසන් වෙන්නෙ යුක්තාණුවකට ඉඩා දීලා.. 'ආලිංගනය අවසන් , යුක්තාණුවට ඉඩ දී' කියන්නෙ ඒකයි.සමස්තයක් වශයෙන් ගත්තම ගීයෙ අවසන් කොටසින් මිනිස් සිතක ඇති වෙන රාගික සිතිවිල්ල කායික පහසක් ඉල්ලා සිටින් අයුරුත්, ඒ ඔස්සේ ඵලයක් ලෙස ජීවයක් බිහි කරන අයුරුත් කතා කෙරෙනවා. මට හිතෙනව මේ අවසන් සිතුවිලි ප්‍රකාශනය තුල යම්කිසි ආකාරයක පශ්චාත් නූතන වාදී දෘශ්ටියක් තියෙනවාය කියල. මොකද ආදරයේ අනිසි පලය දරුවාය කියන එක පශ්චාත් නූතන වාදි අදහසක්. ඒත් ඉතින් දරුවා අනිසි පලය වන්නේ ආදරයේ නොව රාගයේය කියල තර්ක කරන කෙනෙකුට මේ ගීය එම පශ්චාත්නූතනවාදී අදහසට කෙරෙන ප්‍රතිවිරුද්ධයක් කියලත් දකින්න පුලුවන්... තුන්වෙනි කොටසෙ කියවෙන්නෙ "සිතුම් 'අනුරාගයක්' " ගැන නිසා... 


මට ගීතය ගැන කියන්න තියෙන සමස්ත කතාව ඕකයි. මම නම් දකින විදියට කාලෙකට පස්සෙ ඇහුන හොඳට හිතන්න යමක් දෙන, ශ්‍රාවක බුද්ධියට අභියෝග කරන පදමාලාවකින් සමන්විතයි මේ ගීතය. සාමාන්‍යයෙන් පදමාලවක් තුල දකින්න නොලැබෙන ජීවාණුව, කළල බන්ධය, රුධිරය, යුක්තාණුව, ශේෂය, ශූන්‍යය සහ අනුනාදය වගේ විද්‍යාත්මක වචන මාලාවකින් සමන්විත වීමත් මේ පදමාලවේ දක්නට ලැබෙන විශෙෂත්වයක්. සමහර විට රචකයා වෛද්‍ය වෘත්තිකයෙක් වීමත් ජීවාණුව, කළල බන්ධය, රුධිරය, යුක්තාණුව වගෙ වචන ඇතුලත් වෙන්න හේතුවක් වෙන්න ඇති.


ගීතයේ ගුණ වරුණ ඇගයීම එලෙස අවසන් වෙද්දි ලිපියෙ අවසානයට පෙර ගීතයේ දෘශ්‍ය සිත්තම ගැනත් සමස්ත චිත්‍රපටය ගැනත් සටහනක් නොතියාම බැහැ. දෘශ්‍ය සිත්තම ගැන කිව්වොත් ගීතයේ අර්ථයන්ට ඔබින විදියක භාව ප්‍රකාශනයක් රංගනයෙන් දිස් වෙනවා... චායාරූපකරණය විශිෂ්ටයි. විශේෂයෙන්ම කලු-සුදු චායාරූපකරණ(black and white photography) භාවිතාව රසික මනස ව්‍යාකූලත්වයකට හසු නොකරම අවශ්‍යවූ වස්තූන් කෙරෙහි සිත් සතන් ඇඳ බැඳ ගැනීම ලා කරන දායකත්වය අපූරුයි. ප්‍රසන්නගේ සිනමා භාවිතාවන් විග්‍රහ කරන්නට තරම් ක්ශේත්‍රීය දැනුමක් මට නැතත් බොහෝ අය කියන විදියටම ඒ සිනමා භාවිතාව භාවනාමය එහෙමත් නැත්තම් මෙඩිටේටිව් සිනමාවක්. ඒ තුලින් රසික මනස යම්කිසි විදියක ගැඹුරු ජීවන අත්දැකීම් විග්‍රහයකට කොටු කරගන්නවාය කියන එකයි අදහස. ඒ වගේම කිව යුතුයි මේ චිත්‍රපටය 'වැඩිහිටියන් ට පමණයි' ලේබලය යටතෙ තිරගත වූවක්. ඒ ගොඩක්ම මේ කතා තේමාව වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් නිසා. ඒ ඇරෙන්න වෙනත් අනවශ්‍යය ලිංඟිකත්වයක් මේතුල උළුප්පා දැක්වීමක් මම දකින්නෙ නැහැ. චිත්‍රපටයෙ ප්‍රචාරක වීඩියෝවෙ සඳහන් වන්නෙත්  "දැන උගත් වැඩිහිටියන් උදෙසා බලා රස විඳීමට" කියලයි... ඇත්තටම ඉතින් කෘතිය තේරුම් ගැනීමට ඕන මූලික අවශ්‍යතාවක් විදියට නරඹන්නගේ වැඩිහිටි මනස බලාපොරොත්තු වෙනවත් ඇති ප්‍රසන්න සමහර විට... අවසන් වශයෙන් කියන්න ඕන මේ කෘතීන් තුනම ( ගීතය, චිත්‍රපටය සහ දෘශ්‍ය සිත්තම ) බෙහෙවින් වින්දනීයයි, ගැඹුරුයි ඒ වගේම අභියෝගාතමකයි...!

6 comments:

  1. මුලින්ම මේ ගීතය අහන්න කලින් විචාරය කියවන්න කලින් පද මාලාව දිහා බැලුවම විට මට හිතුනෙ ඔබ කියූ ආකාරයෙන්ම "මේකත් සින්දුවක්ද "කියලා .. නමුත් නදීකගේ සින්දු වල පදමාලා අමුතුයි,සරලයි කියල මම දන්නවා.. එත් ඒ තුල ගැබ වී ඇති අදහස ගැඹු රුයි කියලත් මම දන්නවා. 'කර්ම ' චිත්‍රපටය මා නොබැලුවත් ඔබගේ විචාරය තුලින් එම චිත්‍රපටය පිලිබදව යම්තාක් දුරට අදහසක් ලබා ගැනීමට මට හැකිවිය. ඔබටම අනන්‍ය වූ ලේඛන ශෛලියකින් මනසකාන්ත අන්දමින් ලියා ඇති මෙම විචාරය සැබවින්ම පැසසිය යුතු අතර මෙම ගීතයට ගැඹුරු මෙන්ම සම්මතයට ඔබ්බෙන් හිතන්නට යමක් පාඨකයා හට ලබා දුන් ඔබ හට මාගේ ස්තුතිය . අවසන් වශයෙන් මේ කෘතීන් හතරම ( ගීතය, චිත්‍රපටය සහ දෘශ්‍ය සිත්තම, විචාරය) බෙහෙවින් වින්දනීයයි, ගැඹුරුයි ඒ වගේම අභියෝගාත්මකයි...!

    ReplyDelete
  2. විචාරය ඉදිරිපත් කිරීම උපරිමයි ලලීන්...!
    ගීතයේ නියම අර්ථය හරියට තේරුනේ ලිපිය කියෙව්වට පස්සෙ.
    ගොඩක් ස්තුතියි මේ වගේ නිර්මාණයක් රසවිඳින්න අපිට අවස්ථාව දුන්නට.

    ReplyDelete
  3. මම පෞද්ගලිකව ගීතයක අර්ථරසයට වඩා ශබ්ද රසය, තනුව, සංගීතය ආදී ය රසවීදීමට කැමැත්තෙමි. නදීකගේ මෙම ගීයත් මගේ ඒ රස ගොන්නේ ඇති එක් ගීතයකි.
    ගීයක මතක පොතට නිතර ගොඩවෙන නිසාවෙන්දෝ හෝ දැන් දැන් ගීතයක කියවෙන අර්ථය සොයා බැලීමට මා තුළ ආසාවක් ගොඩනැගී ඇත. එ සදහ පණාමය ලලීන්ට පුදකරමි.

    ගිතයේ අර්තය විමසන විට මාගේ පරිකල්පණාව ලලීනගේ විවරණයත් සමග අනුනාද විම සතුටකි.

    ReplyDelete
  4. හිතවත් මිතුරු ක්‍රිශ්, කුශ් සහ දොන් ගමගේ
    නිතැතින් දිරිය සපයයි අදහස් ඔබගේ
    වැනුමම නැතත් බැනුමත් මම කරමි අගේ
    හද පිරි තුතිය ඔබ හට මල් මිටක් වගේ

    ReplyDelete
  5. මට අහම්බෙන් මේක ලැබුනෙ ලලීන් අයියෙ. කතා කළ යුතු අවදානය යොමු විය යුතු ජීවිතයේ එක් පැතිකඩක්. ඔබට ජය...!

    අනුනාද වන දෙහදක
    ආලිංඟන අවසානයේ
    ශූන්‍ය වී...
    සිතිවිලී...!!!

    මගේ හිතට කාලෙක ඉදල වධ දෙන ප්‍රශ්ණයක් තියෙනව,,,
    "මේ කතාව තියෙන්නෙ ලිවින්ටුගෙදර් සංස්කෘතියේ විතරමද...?" මාව වටහා ගන්න උත්සහ කිරීම පැත්තකට දාල, තමන්ගේම හදවතින් ඒ ප්‍රශ්ණය අහන්න. උත්තරය තමන් හිතේම තියා ගෙන ජීවත් වෙන්න...

    -අයියා සහෘදයා-

    ReplyDelete
    Replies
    1. අයියා සහෘදයා වෙත,

      ඔබේ අදහස් වලටත් දිරිගැන්වීමටත් ස්තූතියි..

      හැබැයි මගෙන් ප්‍රශ්නයක් අහද්දි කවදාවත්ම ඒකට උත්තරය මට හිත ඇතුලෙ තියාගෙන ඉන්න බැරි නිසාත් මගෙ ලිපියක් හරහා මොනයම් විදියක හෝ සංවාදයක් ගොඩ නැගෙනවාය කියන කාරණය මට අතිශය ප්‍රිය නිසාත් මේ විදියට පොඩි උත්තරයක් තියන්න හිතුවා :)

      ඇත්ත.. මේ කතාව ( එනම් මේ විදියක ඛේදවාචකයක් ) තියෙන්න පුලුවන් 'Living to geather' සංස්කෘතිය තුල විතරක් නෙමෙයි.. රාගය මත පමනක් පදනම් වුනු ඕනෑම සම්බන්දයක් තුලත්, ඒ විදියෙ සම්බන්දකම් වලට අවශ්‍යය වට පිටාව සකසන ඕනෑම සංස්කෘතියක් තුලත් මේ කතාව පවතින්න පුළුවන්.. හැබැයි එහෙම තියෙන්න පුලුවන් අවස්ථා හා සංස්කෘතීන් සියල්ල සැලකුවාම 'Living to geather' තුල ඊට තියෙන ඉඩකඩ සාපේක්ෂව වැඩි වෙන්න පුලුවන්.. ඒ හැරුණු කොට 'Living to geather' පිළිබඳ වෙනස් දොසක් කියන්න අදහසක් මගේ හිතේ තිබුනෙ නැහැ මේ ලිපිය ලියන්න පෙලඹෙන අවස්ථාවෙ.. කොටින්ම මේ ගීතය වෙනම ගත්තාම රාගය සහ ප්‍රේමය වෙන් කර හඳුන්වන්නක් ලෙසත් දකින්න පුලුවන්ය කියලයි මට හිතෙන්නෙ .. :)

      Delete

Google+